බස්නාහිර සමුපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරීමේ කෙටුම්පත කඩිනම් කරන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සමූපකාර සමිති කඩාවැටෙන විට ඒවා ගොඩගැනීම සඳහා නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන, කාලයක් තිස්සේ එම සාමාජිකයන් ගොඩගනාගත් දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරීම සාධාරණදැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, බස්නාහිර පළාත් සමුපකාර නිලධාරීන්ගෙන් විමසා සිටියේය. රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් ඊට අනුකුලව කටයුතු කළ යුතු බවත්, බස්නාහිර පළාතේ සමුපකාර ප්‍රඥප්තිය ශක්තිමත් නොවන බව පෙනී යන නිසා එය වෙනස් කිරීමට සකසන මූලික කෙටුම්පත වහාම තමන් වෙත එවන ලෙසද, ඔහු බස්නාහිර ආණ්ඩුකාරවරයාට මෙන්ම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. රටේ අර්බුදයක් පැනනගින අවස්ථාවන්හිදී මහජනතාවට සහන සැලසීමට සමුපකාර ව්‍යාපාරය මහත් සේවයක් කරන බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල සමුපකාර සමිති මුහුණ දී ඇති ගැටළු සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී 2023.05.22 පැවති සාකච්ඡාවකදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"සමුපකාරවල පවතින්නේ කාලයක් තිස්සේ ගොඩනගා ගත් දේපොළ වගේම විවිධ අය පරිත්‍යාග කළ දේවල්. නැඟෙනහිර හේවාගම් කෝරළේ සමිතියේ ඔය දේපොළ ගැන මම හොඳට දන්නවා. නීතිය අනුව කටයුතු කළයුතු වුවත්, මෙම සමුපකාර සමිති කඩාවැටෙන තුරු ඒවා ගොඩ ගැනීමේ මාර්ග නොසොයා සිට, පසුව දේපොළ අහිමි කරන එක සාධාරණද?. අනිත් පැත්තෙන් සමුපකාර සමිති නිලවරණ පවත්වනතුරු පාලනය සඳහා පත්කරන කමිටුවට රාජ්‍ය නිලධාරින් පමණක් නොව, ක්ෂේත්‍රයේ නිපුණතාව ඇති අයද පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. තවත් පැත්තකින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට චෝදනාවක් එල්ල වී එයින් නිදහස් වූවාට පසු එම පුද්ගලයාට නැවත සමුපකාර සමිතියේ සාමාජිකයෙකු වීමේ හැකියාවක් නැහැ. අභියාචනයක් ඉදිරිපත් කිරීමේ ස්ථානයක් නැහැ. ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්. බස්නාහිර සමුපකාර ප්‍රඥප්තියේ දුර්වලතාවයක් නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. මේ විදියට සමුපකාර ව්‍යාපාරයට ප්‍රාණයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්න පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව වෙත යොමු වුනොත් පෙත්සම්කරුට පමණක් නොවේ, අසාධාරණය කළ නිලධාරීන්ට විරුද්ධවත් තීරණ ගැනීම සිද්ධ වෙනවා. ඒවගේම පළාත් සභාවේ ඉන්න නීති නිලධාරියාට උපදෙස් දෙන්න, නීතිපතිතුමා හා සම්බන්ධ වී මේ නීතිමය ප්‍රශ්නවලට කඩිනම් ප්‍රයෝගික පිළිතුරු සොයන්න කියා "

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ, කළුතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිතිවල අක්‍රමිකතා ගැන සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ කෙරෙන පරික්ෂණයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාද කඩිනම් පරීක්ෂණයක් සිදුකර, වටිනා දේපොළ විනාශවීමේ තත්ත්වය වැළැක්විය යුතු බවය. මුල්‍ය ගැටළුවලට මුහුණ පා ඇති සමුපකාර පාරිභෝගික අංශ පවත්වාගෙන යාම සඳහා සතොස වැනි ආයතන සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් සකසන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රෝහිත අබේගුණවර්ධන මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය මෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්රො ෂාන් ගුණතිලක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රන්ජිත් අශෝක, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් චම්පා එන් පෙරේරා, බස්නාහිර පළාතේ සමුපකාර සංවර්ධන කොමසාරිස් ආර්. ඒ.විජයවික්‍රම, සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් එම්.ඒ.පී.ජයකොඩි යන මහත්ම මහත්මීහුද කොළඹ - ගම්පහ - කළුතර දිස්ත්‍ක්රිකයන්හි සහකාර සමුපකාර කොමසාරිස්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.