ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති රකිබෙ ඩිබෙට් මහත්මිය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය දී සිදුවිය.

රජයේ නව වීසා ක්‍රමවේද සහ ආයෝජන රෙගුලාසි මෙරට ව්‍යාපාර කිරීම පහසු කරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. ආයෝජන මණ්ඩලය නව ලිහිල් වීසා රෙගුලාසි හඳුන්වා දී ඇති බැවින් ආයෝජන පහසු කිරීමේ යෝජනා ක්‍රම මගින් ආයෝජකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වාගැනීමට ධෛර්යය සපයනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
දිගුකාලීන නේවාසික වීසා ලබා ගැනීමේදී තුර්කි ව්‍යාපාරිකයන් පෙර මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව තානාපතිවරිය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. අග්‍රාමාත්‍යවරයා ඉහත කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකාවේ තුර්කි ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාරී වනු ඇතැයි තානාපතිවරිය පැවසීය.
කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඖෂධ, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති,ධීවර වැනි ක්ෂේත්‍ර තවත් හඳුනාගත් නව ක්ෂේත්‍රවල ද ආයෝජනය කිරීමට තුර්කියට දැන් අවස්ථාව ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍යය සඳහා ඖෂධ තොගයක් සහ ශල්‍ය උපකරණ තොගයක් තම රට දැනටමත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව පැවසූ තානාපතිවරිය ලබන සතියේ දී තවත් ඖෂධ තොග දෙකක් මෙරටට ලබාදීමට ක්‍රියා කර ඇතැයි සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සමුළු අවස්ථාවලදී තුර්කිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සම්බන්ධයෙන් ද අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කෘතවේදිත්වය පළ කළේය. එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ උපකාර කිරීම සඳහා තුර්කි සංවර්ධන සහ සහයෝගිතා නියෝජිත ආයතනයේ නව ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සහ සහාය පිළිබඳව ද අගමැතිවරයා ස්තුතිය පළ කළේය. දෙරට අතර ගුවන් ගමන් පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙම අවස්ථාවට එක්විය.