කොළඹ නගරයේ සහ දිවයින පුරා වෙසක් අසිරිය නැංවීමට ත්‍රීරෝද රථ එක් වෙයි.

වෙසක් උත්සවය නිමිති කොට ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු කොළඹ ආශ්‍රිත මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකරමින්, කොළඹ හා දිවයින පුරා විශේෂ වැඩසටහනක ආරම්භය 2023.05.03 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, ධර්මායතනයේදී සිදු කෙරුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

″වෙසක් මහෝත්සවය තවත් පුබුදුවාලීමට ධර්මායතනය කේන්ද්‍රකරගනිමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ඉටුකරන මෙම කර්තව්‍යය සුවිශේෂීයි. මුළු මහත් ලොවත් ශ්‍රී ලංකාවත් සමරන වෙසක් මහෝත්සවය වෙනුවෙන් රට පුරා විවිධ නගරවල ගමන් කරන ත්‍රිරෝද රථවලට බෞද්ධ කොඩිය සවිකොට ප්‍රදර්ශනය කිරීමේ උත්සවයට එක්වී කටයුතු කිරීම පිළීබදව මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු දෙනාට රජය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ජනතාවගේ සිත් සතන් ධර්මය කෙරෙහි යොමු කර ගැනීම සඳහා නිරන්තරව මහා සඟරුවනේ මගපෙන්වීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ, ධර්මායතනය අප සලකනවා."

මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි -

‟බෞද්ධාලෝක මාවතේ වෙසක් කළාපය ඉතාමත් සාර්ථකව සිදු කරනු ලබන වෙසක් කළාපයක්. උත්සවය කියන වචනය බෞද්ධයන් සතු වචනයක්. උත්සවය කියන වචනය තුළ එකතුවීම, එකට වැඩ කිරීම, එක අරමුණක සිටීම, සියලු දෙනා සතුටින් සිටීම කියන වචන තියෙනවා. අපේ තිබුණේ බෞද්ධ උත්සව, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර කියලා. දැන් හුඟාක් බෞද්ධ උත්සව වැටිලා ගිහිල්ලා. ඉතුරු වෙලා තියෙන්නේ වෙසක් සහ පොසොන් විතරයි. මේ සැරසිලි නැතුව ගියොත් ආලෝකයක් නැහැ.

අපේ වෙසක් උත්සවය බලන්න ජපානය, කොරියාව, තායිලන්තය, මියන්මාර් ආදී බෞද්ධ රටවල්වලින් විශාල සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. අධික කාර්යබහුල තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුද තිබුණා. නමුත් අපේ අගමැතිතුමා දෙතුන් විටක් කෙසේ හෝ මෙය කළ යුතුයි කිව්වා. ඒ අනුව තමයි අද මේ වෙසක් උත්සවය මේ විදිහට ආරම්භ කළේ.″

මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, ඇතුළු ආරාධිතයින් සහ ත්‍රීරෝද රථකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය