අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙළෙඳ හා ආයෝජනවල වර්ධනයන් පිළිබඳව ඉතාලිය සමඟ සාකච්ඡා කරයි....

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා සමඟ සාකච්ඡා කරයි.

ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා මහත්මිය සහ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චිබි මහතා 2023.04.24 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන ලෙස ඔවුන් සමඟ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර ඉතාලි භාෂා මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡාකරමින් සිටින බව තානාපති මැන්නැල්ලා මහත්මිය පැවසුවාය.

හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා තරුණයින් පුහුණු කිරීම සඳහා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද ඉතාලිය අපේක්‍ෂා කරයි. පුහුණු කාර්ය මණ්ඩල සඳහා ඉතාලියේ හෝටල්වල ඉල්ලුමක් පවතින බවත් පුහුණු ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා උදාකරගැනීමේ හැකියාව පවතින බවත් ඉතාලි තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. එවැනි පුහුණුවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට ද ඉවහල් වන බව ඇය පෙන්වා දුන්නාය.

යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චිබි මහතා මෙරට සංචාරක ව්‍යාපාරය වේගවත් ලෙස ප්‍රකෘති තත්ත්වයට පත්විම පිළිබඳව සතුටට පත් වන ප්‍රකාශ කළේය. බොහෝ යුරෝපීය සංචාරකයින් ඉහළ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමට උනන්දු වන බැවින් සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය සහ ඒවාට ඇති සංචාරක ආකර්ෂණය තානාපතිවරුන් දෙදෙනාම මෙහිදී අගය කළහ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව තානාපති මැන්නැල්ලා මහත්මිය සිය සතුට පළ අතරම, ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඉතාලි රජයට ස්තූතිය පළ කළ සිටියේය.

එක්ස්පෝ 2030 ප්‍රදර්ශනය සඳහා ලංසු තැබීමට ඉතාලිය සැලසුම් කරන බව එහිදී ඔවුහු අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටියහ.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය