ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබන සතියේ ගිවිසුමට අනුමැතිය ලැබීමත් සමඟම නැවතත් ජාත්‍යන්තරයට අපේ ආර්ථිකයේ දොරටු විවෘත වෙනවා.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.03.17 දින හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අලුත් ගමක්- අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

හම්බන්තොට දිස්ත්‍රික්කය මේ ජාතික වැඩසටහනේ වැදගත් කේන්ද්‍රස්ථානයක් වෙනවා. අහරින් ස්වයංපෝෂිත වූ දිස්ත්‍රික්කයක් පමණක් නොව අතිරික්තයක් බවට පරිවර්තනය විය හැකි දිස්ත්‍රික්කයක් බව ඔප්පු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ වැඩසටහන යටතේ පසුගිය මාස අට තුළ අහරින් ස්වයංපෝෂිත වන හැම ගමක්ම එලෙස සංවර්ධනය වන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම අරමුණයි.

පසුගිය කාල පරිච්ඡේදයේ ඇතිවුණු ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි විදේශ විනිමය අර්බුදය.ඒ සමඟම ඇතිවුණු ජාත්‍යන්තර ණය ගෙවීමේ අර්බුදය.ඒ නිසා අප සමඟ ලෝකයේ කටයුතු කළ මූල්‍ය ආයතන අප සමග කටයුතු කිරීම තාවකාලිකව නවතා දැමීමේ ක්‍රියාදාමය තදබල ලෙස අපේ මූල්‍යමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලපෑමක්. ඒ නිසාම ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයට පරිවර්තනය වීමෙන් යළි නගාසිටුවීම සඳහා විදේශ විනිමය සොයාගැනීම වගේම විදේශ විනිමය සදහා වැයවන මුදල අඩුකර ගැනීමට , ඒ වාගේම අලුතෙන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීමෙන් අලුත් මාර්ග සොයාගැනීමට අප පරිවර්තනය වුණා. ඒ අනුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවේ සහයෝගය වගේම ඉන්දියාව, චීනය, ජපානය, යුරෝපය වැනි රටවල් වල සහයෝගය යළිත් ඉල්ලා සිටියේ. විදේශ විනිමය උපයා ගැනීම පමණක් නොව ගනුදෙනු කිරීමේදී බැංකු මගින් ගණුදෙනු කිරීමට අප ලබාදෙන එල්. සී ඇරීමෙන් ණයදීම සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. එය යළි පරිවර්තනය කර ගන්නට පුළුවන් දොරටුවට තමයි දැන් අපි මේ මාස 6 තුළ පැමිණ තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබන සතියේ ගිවිසුමට අනුමැතිය ලැබීම සමඟම ලෝකයේ බැංකු ක්‍රමය ශ්‍රී ලංකාවට මෙතෙක් පනවා තිබූ අත්හිටුවීම ඉවත් වෙනවා.

එවිට අපේ ගනුදෙනු කිරීම වඩාත් පහසු වෙනවා.

රජයේ ප්‍රතිපත්තිය හැටියට කලින් වගේම අපි අහරින් ස්වයංපෝෂිත වීමට ගමෙන් පටන් ගත්ත පුනර්ජීවන වැඩසටහන ගමත් රටත් එලෙස සංවර්ධනය කිරීමට ඉලක්කගතව කටයුතු කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ඕනේ.

ඒ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ඒ වාගේම සහයෝගය ලබා ලබාදීම අපි විශ්වාස කරනවා සියලු රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය වගකීමක් කියලා.

රාජ්‍ය සේවය ඒ සඳහා වූ සේවාවක්. පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය නොවන අංශ වල සේවා වලට වඩා වෙනස්.


දිසාපතිතුමා යටතේ සිටින සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ දේශපාලන මත භේද වාදය නෙවෙයි. මේ වැඩසටහන සාර්ථකත්වයට අවතීරණ වීමට අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් හම්බන්තොට ගොවි ජනතාව මේ වෙනකොටත් දක්වා තිබෙන ප්‍රතිචාරය අපි අගය කරනවා.

ගොවි ජනතාව තමයි අවසානයේදී මේ ප්‍රතිඵලය පෙන්නුම් කරලා තියෙන්නේ. අපිට සහාය වෙන හැම රටක්ම අගය කරනවා අපේ ගොවි ජනතාවගේ කැපවීම.

එය තමයි අපට මේ මාස කීපය තුළ රටට ලැබුණු ඇදගත් ම විශ්වාසය.
බොහෝ අඩුපාඩුකම් පිරිමසා ගැනීමට මෙවැනි සාකච්ඡාවන් උපයෝගී වන බව ඔබ පිළිගන්නවා ඇති.

අද දිනය වන විට අපේ රාජ්‍ය අංශයේ විශේෂ කටයුතු දෙකක් තියනවා. අපිට අඩු ආදායම්ලාභීන් අතරින් අඩුම ආදායම්ලාභීන් අතරට වැටිල තියෙන අයට සහාය ලබාදීම යළි සමීක්ෂණයකට පත් කිරීම ආරම්භ කළා.

ප්‍රා ලේ කොට්ඨාශයෙන් කොට්ඨාශයට මෙය ඉටු කිරීම අවශ්‍යයි.ඒ වගේම ග්‍රාමසේවක කොට්ඨාශයෙන් කොට්ඨාශයට පෙන්නුම් කිරීම අවශ්‍යයි. එවැනි සුදුසුකම් සහිත අය ඉල්ලුම්පත්‍ර භාර දීල තිබෙනවා. මේ මාසයේ අන්තිමට සමීක්ෂණය හමාර කළ යුතුයි.

එය කවුරුහරි නිලධාරියෙක් ප්‍රතික්ෂේප කරනවා නම් කණගාටුදායකයි.

රාජ්‍ය නිලධාරීන් අපේ රටේ අඩුම අඩු ආදායම්ලාභීන්ට ලැබෙන දේ ලබානොදීමට එලෙස වර්ජනයක් කරනවා නම් ඉතාම කනගාටු යි කියන එක මම අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරනවා රජය වෙනුවෙන්.

ඇයි අපි එහෙම තත්වයක හැසිරෙන්නේ. මේ අහිංසකම ජනතාවට උදව් වෙන්න මේ සමීක්ෂණ පත්‍රිකාව පුරවා හමාර කිරීමට උදව් වෙන්න කියලා යළිත් ඉල්ලා සිටිනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන්වත් මේ රාජකාරිය කරන්න. ඒ සඳහාම පමණක් නිලධාරීන් රාශියක් ඉන්නවා. ආදර්ශමත්ව අපේ ගොවි ජනතාව මොන කැපවීමකින් ද මේ නිෂ්පාදනය අද ඇති කරලා තිබෙන්නේ.

මේ සමීක්ෂණ වාර්තාව ලැබුණු පසු අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන ආධාර තවත් වැඩි කිරීමට අවස්ථාව සැලසෙනවා. මේ කටයුත්ත අපි බලාපොරොත්තු වූ ඉලක්කයට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට දැන් නිම වෙමින් පවතිනවා.

ඒ සේවාවල නිරත ඔබ කිසිවෙකුට අතිරේක බරක් දාලා නැහැ. රාජ්‍ය සේවයේ වැටුප් විශ්‍රාම වැටුප් අත්‍යවශ්‍ය සහනාධාර සඳහා දෙන්න ආදායම මදි. රටේ වැය ශීර්ෂය වැඩි වෙලා.

ඉහළ මට්ටමේ බදු ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක් වෘත්තියක් හැටියට.

වෘත්තීය මතු දියුණුවට ජාතික වශයෙන් ඒකාබද්ධ කර ගන්නට වෘත්තීය අයිතිවාසිකම්, සංවිධානය වීමේ අයිතිවාසිකම් කිසිවක් අපි උල්ලංඝනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

නමුත් දේශපාලන අයිතිවාසිකම් වෘත්තිය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පාවිච්චි කරනවානම් එය තමන්ගේම රාජකාරියට විරුද්ධව පරිවර්තනය කරන ක්‍රියාදාමයක් ලෙස සලකන්නට සිදු වෙනවා.

සමාජ ආරක්ෂණ දැල එලෙසම පවත්වාගෙන යාමට සහය වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

පරස්පර විරෝධී සංඛ්‍යාලේඛන ඉදිරිපත් වීමෙන් ගැටලු ඇතිවිය හැකි නිසා ඒවා නිරාකරණය කර ගැනීම ඉතාම වැදගත්. එනිසා අපි බලාපොරොත්තු වෙනවා හරියාකාරව ආහාර නොමැති පවුල් මේ තරම් ප්‍රමාණයක් ඉන්නවා කියන එක දැනගන්නට.

ඒ වගේම ප්‍රකාශයට පත්කරනවා ආහාර නිෂ්පාදනය අතින් අතිරික්තයක් තියෙන දිස්ත්‍රික්කයක්.

අනෙක් දිස්ත්‍රික්ක වලටත් ඒ අතිරික්තය බෙදාහරින්නට පියවර ගන්නවා.

මේ පරස්පර විරෝධී ගැටුම අනිවාර්යෙන්ම මතු වෙන්නේ වැරදි සංඛ්‍යා ලේඛන පිළිබඳ ගැටලුව නිසයි.

මෙය දැන් ජාතික පරිගණකයකට පරිවර්තනය විය යුතුයි.

ජාතික පරිගණකය මෙම සමීක්ෂණය යළි යලි තෝරා බලනවා.

ග්‍රාම සේවක කොට්ටාශ වල සිටම කටයුතු කරන්න හැකියාව ඇති වන ලෙස පුනර්ජීවන කමිටු ඇති කරලා රාජ්‍ය නිලධාරීන්ට ගමින් ගමට ජීවත්වන විවිධ නිෂ්පාදනයන්ගේ නිරත වන ජනතාව ටත් බහුජන සංවිධාන වලටත් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති කරලා තිබෙනවා.

හැම ගමක්ම සියලු දෙයින් ස්වයංපෝෂිත වෙන එකක් නැහැ. නමුත් අඩුම වශයෙන් යම් නිෂ්පාදනයකින් කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනයකින් හැම ගමකටම ස්වයංපෝෂිත විය හැකියි. අතිරික්තයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා.

අපනයන ජාලාවක් ඇති කරනවා නම් අප බලාපොරොත්තු වෙනවා ගම් දහයක් හෝ ඉදිරියේදී ගම් සීයක් හරි එකතු කරලා එවැනි ජාලයක් ඇති කරන්නට.

බොහෝ තැන්වල නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමේ ගැටලුව තිබෙනවා.

අලුත් උත්සාහයකින් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන කොට එය අපතේ නොයා එසේ රැස් කරගත හැකි ද්‍රව්‍ය වෙළඳපොළ කරා ගෙන යා හැකි ක්‍රමයක් සෑදිය යුතුයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් හෝ නැත්නම් ඒකාබද්ධව ප්‍රා ලේ කොට්ඨාශ කිහිපයකින් හරි මේ පිළිබඳ මැදිහත්වීමේ ජාතික වැඩසටහන ඉඩකඩ සපයා දී තිබෙනවා.

පොස්පේට් නිධියේ ඵල ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා වූ අවුරුදු ගණනක සාකච්ඡාව යළිත් ඇතිකර දී මෙම ප්‍රදේශයේ එම පොස්පේට් නිධියේ මිශ්‍රණය සකස් කොට ගම්බදව ලබාදීම සඳහා වූ ක්‍රියාවලිය ඉතාම වැදගත්.

එයට යම් යම් අවහිරතාවයන් තිබුණනම් ඒ සඳහා වූ භුමි භාගයක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා.

එය තමයි මහපොළොවේ අපිට තියෙන වස්තුව. මහපොළොවේ අපිට වස්තුව තියෙද්දි පිටින් ගෙනල්ලා අපට විදේශ විනිමය නැහැ කියන්න නැතුව වෙනස්ව මගපෙන්වීමක් කරා අපි ගමන් කළ යුතුයි.

සමහර ගම් නගරවල බඳවාගත් බහු කාර්ය දෙපාර්තමේන්තුවේ අයගේ ස්ථිර කිරීම මැයි මාසයේ පළවෙනිදා වෙනකොට සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ පිළිබඳව දැන් කෙරෙන සාකච්ඡාවන් ඉතාම සාර්ථකව සිදුකෙරෙනවා.

ඊට දෙපාර්තමේන්තුව සියල්ල සහාය දක්වා තිබෙනවා.

මැයි පළවෙනිදා වෙනකොට ඔවුන් සියලු දෙනා ස්ථිර කොට වැඩි වැටුපක පිහිටවන්න අපි අපේක්ෂා කරනවා.

පළාත් පාලන ආයතනවල බඳවා ගත් සියලු දෙනා දීර්ඝකාලීනව ස්ථිර කරලා නැහැ. ඔවුන් එක සැරේ ස්ථිර කරන්න අමාරු වුනත් ඒ පිළිබඳ සලකා බලමින් සිටිනවා.පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත ඒ කටයුත්තට අවතීරණ වීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් දැන් කටයුතු කරමින් සිටිනවා.

ඉඩම් නිදහස් කිරීමේ ගැටළුවට සම්බන්ධව සෑම දිස්ත්‍රික්කයක ම ගැටලුවකට මුහුණ දෙනවා. ඉඩම් හඳුනාගෙන තියෙනවා. ඉඩම් එලෙස නිදහස් කර ගැනීමේ ඕනෑකම සාකච්ඡා වුණා.

රාජ්‍ය ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණයට අයිති ඉඩම් ඒ වගේම මහවැලියට අයත් ඉඩම් ඵලදායි ලෙස භාවිතාවට නොගෙන අතහැර දමා තිබෙන ඉඩම් අපේ රටේ අලුතෙන් කෘෂිකර්මාන්තයට උනන්දුව දක්වන ගම්වාසී ගොවි ජනතාවට වගාකරන්න ලබා දෙන්න කියලා රජය ප්‍රතිපත්තියක් ගෙන තිබෙනවා.

එය ලබාදීම තමයි දැන් කිරීම ප්‍රමාද වෙලා තියෙන්නේ.

වහාම ඉඩම් නිදහස් කිරීමේ කාර්යයට කටයුතු කිරීමට මේ වෙලාවේ යළිත් යළිත් සඳහන් කරන්නට අවශ්‍යයි.

එලෙස කටයුතු කළොත් තමයි අපේ කෘෂිකර්මාන්තය අපනයන තත්ත්වයට ගේන්නට අලුත් උනන්දුවක් ඇති වෙන්නේ.

ගොවි ජනතාව විශේෂයෙන් ඉන්ධන ගැටළුවට මුහුණ දෙමින් සිටිනවා. අපට මැදිහත් විය හැකි ආකාරයට සහාය දැක්වීම සඳහා නව වැඩපිළිවෙළ දියත් කිරීමටත් යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය තෙල් ලබා දීමටත් කටයුතු කරනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ගැටළු පිළිබඳව අපි පිළිගන්නවා. ඒ වගේම ගොවි ජනතාවත් ගම්වාසී ජනතාවත් මුහුණ දෙන ගැටලු අපි තේරුම් අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

කන්තලේ සීනි කම්හල වහලා තියෙන්නේ අක්කර විසි හත්දහසක් තියෙනවා. කිසිවෙකුට ඇතුල් වෙන්නට දෙන්නෙ නැහැ. මේකේ මුං ඇට වගා කරන්න සඳහා අක්කර 3000ක් හෝ 4000ක් නිදහස් කරන්නට තීරණය කළා.

වෙන කිසිම වගාවක් කෙරෙන්නෙ නැහැ. ඒ හරහා ගමන් කරන ජලය තිබෙන ඇලවල් පවා කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මෙම වැඩසටහන යටතේ අපි අවුරුදු 2කට ආහාර වගා කරන අයට දෙන්න කියලා ජනාධිපතිතුමා කාර්යාලයෙන් ම නිවේදනයක් නිකුත් කළා. තාවකාලික ලෙස වගා කරන්න ඉඩ කඩම් දෙන්න කියලා. ඒත් ක්‍රියාත්මක කරන්නට සහාය නොදෙනවා නම් කණගාටුයි.

ක්‍රියාත්මක කරවා ගැනීමට සහයෝගය පාවිච්චි කරන්නට සිදු වෙනවා.

විශේෂයෙන් හමුදාව කෘෂිකර්මාන්තය සඳහා ඉදිරිපත් වී තියෙද්දිත් බොහෝ ප්‍රදේශවල තවමත් හමුදාවලට භාර දුන්නේ නැහැ. තවමත් ගොවි ජනතාවට රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා මගින් එය ඉටුකර ගැනීමේ ඕනෑකම සඳහා ඉක්මනින් අපි ගමන් කිරීමට අදහස් කරනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ඩී වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආචාර්ය බී. එම්. එස් බටගොඩ, හම්බන්තොට දිසා ලේකම් එච් ,පී සුමනසේකර මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය