ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ආර්ථික ස්ථාවරත්වය කරා පැමිණීම සතුටට හේතුවක්… කැනඩා මහ කොමසාරිස්වරයා කියයි

ශ්‍රී ලංකාවේ පස් වසරක සේවා කාලයක් නිමකොට සිය රට බලා යන කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (David Mackinnon) මහතා 2022.09.30 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

එහිදී දෙරට අතර ද්විපාර්ශික සබඳතා සහ වත්මන් ආර්ථික අභියෝගයන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය.

අතීතයේ පටන් කැනඩාව ශ්‍රී ලංකාවට දක්වන සහායටත්, විශේෂයෙන් අම්පාර හාඩි ආයතනය පිහිටුවමින් මෙරටට අත්‍යවශ්‍ය තාක්ෂණික ශිල්පීන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීම සම්බන්ධයෙනුත්, දුම්රිය එන්ජින් ලබාදෙමින් පොදු ප්‍රවාහන සේවයට දැක්වූ සහායටත් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

පසුගිය මාස කිහිපය තුළ ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් යළිත් රට ස්ථාවර කිරීමට ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මැකිනොන් මහතා සතුට පළ කළේය.කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් අතර සිටින ස්ථාවරත්වයට පත් වූ ව්‍යාපාරිකයන්ට මෙරට ආයෝජනය සඳහා ඔවුන් දිරි ගැන්වීම රටේ ආර්ථික ප්‍රගතියට මහඟු රුකුලක් වනු ඇතැයිද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීමට මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජයවර්ධන සහ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන සහ වාණිජ ප්‍රධානී ඩැනියෙල් බූඩ්(Daniel Bood) ද මේ අවස්ථාවට සහභාගී වූහ.