ඇමරිකාවෙන් ඩොලර් මිලියන 10 ක ඖෂධ පරිත්‍යාගයක්

මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමරිකාවේ (direct relief USA) ආයතනය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දීම එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවෙ (Chris Alleway) මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 2022/09/26 කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

එම පරිත්‍යාගය පිළිබඳව ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා...
"ජීවිත රැසක් බේරා ගැනීමට මේ නිසා හැකියි. ඖෂධ හිඟ රෝහල් සඳහා මෙම ඖෂධ කඩිනමින් බෙදා හැරීමට වහාම ක්‍රියා කරනවා. විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතුයි. ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟවී තිබෙනවා. හිඟ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමට රජය කටයුතු කර අවසන්. එමෙන්ම ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයන්ගෙන් ලැබෙන මෙවැනි පරිත්‍යාග ද අවශ්‍යතා සපුරාලීමට බෙහෙවින් වැදගත්."

ක්‍රිස් ඇලිවේ මහතා මෙහිදී පැවසුවේ "සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණය කින් පසු ශ්‍රී ලංකාවට අනුකූල ලෙස මෙම ඖෂධ තෝරා ගැනීමට හැකි වුනා. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ඇමරිකාව පදනම් කරගත් මෙඩිකල් හෙල්ප් sri lanka global alliance හි සහයද ලැබුනා."

එම ආයතනයේ සන්නිවේදන සම්බන්ධීකාරක පැඩි දිසානායක මහත්මිය මෙම සත්කාරය පිළිබඳව සඳහන් කළේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, මැලේසියාව හා තවත් රටවල් කීපයක විවිධ මානුෂීය ආධාර සංවිධාන මෙම ඖෂධ රැස්කිරීමේදී දායක වූ බවයි.

මේ මාසයේ දී ඩොලර් මිලියන විස්සකට වැඩි ඖෂධ ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මෙඩිකල් help හි සම්බන්ධීකාරක ගිහාන් ජයරත්න, direct relief USA ආයතනයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥ මෙව් ඔ කොනර් (Maeve O Conner ) යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.