චීනයේ යුනාන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළට..

චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි යුනාන් පළාතේ ආණ්ඩුකාර වැන්ග් යූබෝ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

2023.05.17 දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී දෙපාර්ශවය අතර වෙළෙඳ , සංචාරක, කෘෂිකර්ම, තාක්ෂණ සහ ආයෝජන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතිකරගැනීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

යුනාන් පළාත් ආණුඩුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පැමිණි වැන්ග් යූබෝ මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ තාක්ෂණික කුසලතා සංවර්ධනය සඳහා සහාය වීමට කැමැත්ත පළ කළේය. මිලියන 50 ක ජනගහනයක් සහ 2022 දී ඩොලර් බිලියන 417 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත යුනාන් පළාත ශ්‍රී ලංකාව වැනි මිත්‍ර ජාතීන්ට උපකාර කළ හැකි තත්ත්වයක සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුකාරවරයා කොළඹ වරාය නගරය නිරීක්‍ෂණය කළේය. ඔහු මහනුවර, පොළොන්නරුව සහ නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී රුපියල් මිලියන 25 ක් වටිනා පාසල් උපකරණ කට්ටල සහ වියළි ආහාර නගරයේ පාසල් කිහිපයකට බෙදා දීමට නියමිතය.

නියමු ව්‍යාපෘති ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බව එම සාකච්ඡාවලදී ඔවුන් හඳුනාගෙන ඇත. නව්‍ය ඩිජිටල් ආර්ථික යාන්ත්‍රණය මගින් ප්‍රාදේශීය ප්‍රජාවන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබිය හැකි බව ද ඔවුහු අවබෝධ කරගත්හ.

ව්‍යවසායකත්වය, ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය සවිබල ගැන්වීමට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා යුනාන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. ආදායම් ඉපැයීම, දිළිඳුකම අවම කිරීම සහ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලයන් සවිබල ගැන්වීම බෙහෙවින් ඉවහල් වන බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය සහ යදාමිණී ගුණවර්ධන, චීන තානාපති කී සෙන්හොන්ග්, යුනාන් පළාතේ විදේශ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් යැන්ග්මූ, අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් යුන්ෆී, වාණිජ හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ලී යැන්ග් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය