අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකි

අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකු බව පවසන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සැපේදි මෙන්ම දුකේදීත් ළඟින්ම සිටින්නේ කල්‍යාණ මිතුරන් බව පවසයි .එබැවින් චීනය ශ්‍රී ලංකාවට සුවිශේෂී මිතුරෙකි.
2022/09/28 කොළඹදී සංවිධානය කර තිබූ මහජන චීන සමූහාණ්ඩුවේ හැත්ත තුන්වන චීන ජාතික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය.චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය එය සංවිධානය කර තිබුණි.දෙරට අතර බැඳීම සහස්‍ර කීපයක් පැවති බව ලෝකප්‍රකට ඉතිහාසඥ පාහියන් භික්ෂූන් වහන්සේගේ වාර්තා මගින් ද පැහැදිලි වෙයි.මීට දශක හතකට පෙර දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා නොතිබුණු යුගයක රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමට හැකිවිය.එම ජයග්‍රහණයේ හැත්තෑ වැනි සංවත්සරය මෙම වසර මුලදී සැමරිය.චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වල හැටපස් වන සංවත්සරය මේ වසරේ දී සමරනු ලැබීමද ඓතිහාසික අවස්ථාවකි.
සහල් රබර් ගිවිසුම අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙ හා මිත්‍රත්වයේ වේදිකාවකි.විශාල ගැඹුරු මූලයන් ඇති සේද මාවත ගැන ද දැන් කතා කරයි.රාජතාන්ත්‍රික සබඳතා පුළුල් වීමත් සමග වෙළඳාම ආධාර සහ ආයෝජන විශාල ලෙස වැඩි දියුණු විය.ජනතාව අතර බැඳීම් ද ඉහළ නැඟුනි.ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ස්වෛරීභාවය ඒකීය රාජ්‍යය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් චීනයේ අඛණ්ඩ සහය පළවිය.බුද්ධාගමට ගරු කරන රාජතාන්ත්‍රික සබඳතා ද තවත් වර්ධනය වුණි.වත්මන් තත්වය තුළ පවා ශ්‍රී ලංකාවට ආයෝජන, සහයෝගිතාව සහ සංචාරක ව්‍යාපාරය නැංවීම වෙනුවෙන් තවදුරටත් සහය දෙන බවට චීනය සහතික වී ඇත.1949 ඔක්තෝබර් පළමුවැනිදා සිදුවූ මහජන චීන සමූහාණ්ඩුවේ උපත සමග සංවර්ධනයේ නව යුගයක් උදාවිය.සමාජවාදී මාවතක පැමිණියත් වර්තමානයේ දී චීනය සිය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ එරට මිනිසුන් මිලියන 900 කගේ දරිද්‍රතාවය සාර්ථකව තුරන් කර තිබේ.එම ප්‍රායෝගික ආර්ථික ආකෘතිය ලොවට විශිෂ්ට ආදර්ශයකි.
චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙකි.විශේෂයෙන් ආසියාව අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුළු සියලු ජාතීන්ගේ සමෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කර තිබේ.එමෙන්ම චීනය ජාත්යන්තර බලතුලනය වෙනස් කරන්න ගෝලීය දැවැන්තයකු බවට පත්වෙමින් සිටී.දේශපාලන, සමාජ ආර්ථික ,දිළිඳුකම පිටුදැකීම ,සංස්කෘතික , විද්‍යාත්මක ,තාක්ෂණික, පරිසරය ,පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍ර වල චිනයේ වේගවත් ප්‍රගතියට අප සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුය.ගෝලීය සමගිය හා මෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා ශක්තිය ලබා දීමට දෙරටේ මිත්‍රත්වය තව තවත් වර්ධනය වනු දැකීම අපේක්ෂාව බවද අගමැතිවරයා කීවේය.මෙරට චීන තානාපති Qi Zhenhong සහ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නියෝජිතයෝ ද මෙම උත්සවයේ දී අදහස් දැක් වූහ.
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය (SLFA), ශ්‍රී ලංකා චීන සංගමය (SLCS), ශ්‍රී ලංකා චීන මාධ්‍යවේදීන්ගේ සංසදය (SLCJF) සහ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය (SLCBFA) එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.