"ආර්ථික වශයෙන් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න" අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF සාකච්ඡාවේදී ඉල්ලයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිසක් සමඟ 2022.08.26 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
රට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ අඩු ආදායම්ලාභී පිරිස් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දැනුවත් කළේය. අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කරන අතරම, සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
IMF සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ තම නියෝජිත පිරිස රජය, විපක්ෂය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර IMF මණ්ඩලයට කරුණු වාර්තාකරන බවයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම සඳහා සැළසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමකට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂක පියවර ගැනීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් බව IMF දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය මසාහිරෝ නොසාකි පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය ප්‍රධානී මසාහිරෝ නොසාකි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ටුබාගස් ෆෙරිධනුසෙත්‍යාවන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වූ අතර අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ සහ මහ බැංකු නියෝජ්‍ය අධිපති චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.