ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම කෙරෙහි වූ දේශපාලන අභිලාෂය අගය කළ යුතුයි. - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සුබ්‍රමනියන්.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් පවසයි.

2023.01.26 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාල ක්‍රියාවලිය අවසන් වනු ඇති බවයි.

2018 සිට 2021 දක්වා ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කළේ ආචාර්ය සුබ්‍රමනියන් මහතායි. “අපි ඔබ වෙනුවෙන් සෘජුව ඉදිරියට ක්‍රීඩා කරන අතර අවශ්‍ය විටෙක, අපි කවර් ඩ්‍රයිව් ද ක්‍රීඩා කරනනෙමු යැයි ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත වාග් මාලාවෙන් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

රට මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කළේය.

අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත දැලක් අත්‍යවශ්‍ය වන බව ද ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසීය. කෙසේ වෙතත්, රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.