ජාත්‍යන්තර ජල දින පණිවුඩය

ජලය ජීවයයි. ඒ සඳහා කිසිදු විකල්පයක් නැත.

ලාංකිකයා ලොව අනෙකුත් ජාතීන්ට නොදෙවෙනි මහා වාරි හා වාපි ශිෂ්ටාචාරයකට උරුමකම් කියයි. ආදි මුතුන් මිත්තෝ ලොව මවිත කළ ජල සම්පාදනයෙහි කෙළ පැමිණියෝ වූහ. අහසින් වැටෙන එකඳු ජල බිදුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොහැරීමට ඔවූහු වගබලා ගත්හ. එය මහා පැරකුම් උදානය ද විය. ඔවුහූ ජල මූලාශ්‍ර, ජල පෝෂක දේවත්වයෙන් ආරක්ෂා කොට කළමනාකරණයෙන් මතු පරපුරට දායාද කළහ.

එවන් ඉතිහාසයකට උරුමකම් කියූ අප හා ලෝකය අද පානීය ජල අර්බුදයක එළිපත්තේ සිටිමු. ජල පෝෂක, ජල දහරා සුරක්ෂිතභාවය හා විසල් පිරිවැයකින් නිෂ්පාදිත පානීය ජල කළමනාකරණය සිදු නොවුණහොත් මතු ලෝක යුද්ධය ජලය උදෙසා වනු ඇත.

ස්වභාව ධර්මය අපට අනූනව දායාද කළ මහවැලි, කැලණි, කළු, වලවේ ඇතුළු ගංගා එකසිය තුනක්, සියගණන් දිය දහරා, පෙර රජ දරුවන් දායාද කළ වැව් අමුණු අතරින් දියවර උකහා ගෙන පානීය ජල ව්‍යාපෘති හරහා ජනගහනයෙන් සියයට පනස්හයකට ද, ප්‍රජාජල හා ග්‍රාමීය ජල ව්‍යාපෘති මඟින් සියයට දහහතරකට ද පානීය ජලය සපයයි.

මා ජල සම්පාදන අමාත්‍යවරයාව සිටියදී නගරයේ සිට ඈත දුෂ්කර ගම්මාන දක්වා දියත්කළ විසල්, මධ්‍යම හා කුඩා පරිමාණ ජල ව්‍යාපෘතීන්ට අමතරව ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේ ‘මෙය මගේය. අපේය’ යන හැගුමෙන් ප්‍රජා දායකත්වය මූලික වූ ප්‍රජාජල ව්‍යාපෘතින්හී ආදර්ශය හා අඛණ්ඩ සාර්ථකත්වය උදෙසාය.

අපේක්ෂිත ඉලක්ක ජය ගැනීමට ප්‍රශස්ත සංවර්ධනාත්මක වැඩපිළිවෙළක් තුළ කටයුතු කරමින් ජල සම්පාදන අමාත්‍යංශය, ජාතික ජල ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙවර ලෝක ජල දින තේමාව වූ ‘ජලය සහ සනීපාරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම’ තුළ සක්‍රියව සිටීම ඉතා වැදගත් කොට සලකමි.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

2023 මාර්තු මස 21

Download Release