වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලයේ ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ අද (04) පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
මෙතෙක් පැවැති ක්‍රමවේදය වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, පැවති ක්‍රමයටම ඉදිරියට පවත්වාගෙන යාම සුදුසු ද යන්න සාකච්ඡා මාර්ගයෙන් තීන්දුවකට එළැඹෙන්නැයි ප්‍රකාශ කළේය.
මාරු මණ්ඩල ගැටලුවට තමන් මැදිහත් නොවන බවත් එසේ මැදිහත් වුවහොත් දේශපාලන මැදිහත් වීම් සිදු කරන බවට චෝදනාවක් එල්ලවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැදියක තබා කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉල්ලා සිටියේය.
උසස් පරිපාලනය කිසියම් තීන්දුවක් ගත්විට එහි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවයම එක් විසඳුමකට ඒම අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යතුමා, එවැනි එකඟතාවයකින් අවසන් විසඳුමකට එළැඹෙන ලෙස උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස් සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් ෆාතිමා ෆර්සානා , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහත්ම මහත්මීහු ඇතුළු එම සංගමයේ වෛද්‍යවරු රැසක් සහභාගී වුහ.