ගොවි ජනතාව ඉල්ලුව පොහොර දුන්නා. දැන් රට අහරින් ස්වයං පෝෂිත කරන්න දායක වෙන්න.

ගොවි ඉල්ලීමට සවන්දෙමින් ගොවිතැනට අවශ්‍ය පොහොර ලබාදීමට රජය පියවර ගත්තා සේ රට අහරින් ස්වයංපෝෂිත කිරීමට ගොවි ජනතාවගේ දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2022.12.10 දින පාදුක්ක හා බ්‍රැන්ඩිගම්පළ ප්‍රදේශ වල පැවැති ගොවි වගා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් වගා උපකරණ බෙදා දීම මෙහිදී සිදුකෙරුණු අතර ගෙවතු වගාව සඳහා පුහුණුව, අධීක්ෂණය සහිත සැලසුම් සහගත වැඩපිළිවෙලක් හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
"අපේ රට අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටිනවා. දුෂ්කරතාවලට මුහුණ දෙමින්, රටක් ලෙස නැවත හිස එසවීමට නම් මේ අභියෝගය ජය ගන්න සෑම පවුලක්ම එකතු වෙන්න ඕනේ. සංඛ්‍යාලේඛණවලින් කියාපාන දේට වඩා යථාර්ථවාදී මෙය තේරුම් ගැනීමට අවශ්‍යයි.

ග්‍රාමීය පුනර්ජීවන වැඩපිළිවෙළත්, රට අහරින් සුරක්ෂිත කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළත් ඒකාබද්ධ කරමින් ගෙවතු වගාව, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන වැඩසටහන් සාර්ථක කරගත යුතුව තිබෙනවා. විශේෂයෙන් කුකුල් පැටව් නිෂ්පාදනය සදහා පවුලෙන් පවුල සහභාගි විය යුතුයි. මේ වැඩසටහන හරියටම ක්‍රියාත්මක කළොත් සංඛ්‍යා ලේඛනවල තියෙන විමතිය පරාජය කරන්න පුළුවන්.

අපිට වැඩ කරන්න තියෙන මේ කාල පරිච්ඡේදය පහු කරන්න ඉඩ දෙන්න එපා කියලා ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ලෝකයේ බලවත්ම, පොහොසත්ම රාජ්‍ය අතරට අද චීනය ඇවිත්. චීනයේ වසර 25ක පමණ ඉතිහාසය දෙසට ආපසු හැරී බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ගමින් ගමට ගොවි ජනතාව ආරම්භ කළ වැඩ මත තමයි චීනය අද ලෝක ආර්ථිකය යෝධයෙක් බවට පත්වුණේ කියන කාරණය. මිලියන 800ක් පමණ චීන ජනතාව දුගීබවින් ගොඩගත් රටක් බවට පරිවර්තනය කරන්න කෘෂිකර්මාන්තය සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නා.

ඒ වගේම ඉන්දියාවත් අමාරුකම් මැද්දේ අපේ රටට ස්වයං පෝෂිත රටක් ලෙස නෑගී සිටින්න සහය දෙනවා. මේවා අප කාටත් ගත හැකි අසල්වැසි පාඩම්. මහපොළොවේ සරුසාරය නෙළාගන්න පුළුවන් ගම් වල වාසය කරන ආහාර නිෂ්පාදනය සඳහා අපේ ශක්තිය එකතු කරමු. ඕනෑකම තියෙනවා නම් සහාය ලබාදෙන ආයතන ඕනෑ තරම් තියෙනවා. අපේ එදිනෙදා අවශ්‍යතවන්ගෙන් සියයට දහයක් අපිම හදාගන්නවා කියන්නේ එය අපේ ආර්ථික ශක්තියට වගේම විශාල විදේශ මුදලක ඉතිරි කිරීමට දක්වන දායකත්වයක්. අපි ඒ විදියට හිතන්න ඕනේ. වී ගොවිතැනින් වගේම අනෙක් භෝග සඳහාත් මේ ප්‍රදේශය ප්‍රචලිතයි.

ගොවීන් පොහොර ඉල්ලා සිටියා. ඒ වගේම ආණ්ඩුව පොහොර ගෙනාවා. විදේශ ණය අරන් පොහොර ගේන්නේ රට අහරින් ස්වයංපෝෂිත කර ගැනීමට. ගොවියන්ගේ ඉල්ලීමට අපි ප්‍රමුඛතාවය දුන්නා වගේම දැන් ගොවි ජනතාව රට ස්වයං පෝෂිත කිරීමේ සටනට උර දී සිටනවා. සත්ත්ව ගොවිපොළ කඩා වැටීම වලක්වන්නත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සත්තව ආහාර මිල ඉහළ යාමේ ගැටළුව ගැන අපි සාකච්ඡා කළා. ඊට සහන ලබා දී සත්ත්ව ආහාර සුලභ කිරීමට රජයේ අවධානය යොමු කරලා තියෙනවා.

තවදුරටත් ණය අරගෙන, ඒ ණය ගෙවන්නත් ණය අරගෙන ඉදිරියට යන්න බැහැ. එහෙම හිතපු නිසයි චීනය, ඉන්දියාව වැනි රටවල් අද ලෝකයේ යෝධයන් අතර එක් වෙමින් තිබෙන්නේ. අපි කුඩා රටක්. අපිට ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම හා දේශගුණික තත්ත්වයන් තියෙනවා. ගංගාවල් 104 තියෙනවා. වැව් 40,000ට කිට්ටු ප්‍රමාණයක් තිබුණත් දැනට භාවිත වන්නේ 20000ක් වගේ ප්‍රමාණයක්. මේ මහපොළොවේ ඉතිහාස පොත් ඉගෙනගත්ත අයයි මෙතන ඉන්නේ. ඉතිහාස පොත ඉගෙනගෙන අපි එළියට එන්නේ. හැම පාසලකම අපේ ගුරුවරු ආඩම්බරයෙන් අපේ ඉතිහාසය කියා දෙනවා. අපට මේක කරන්න පුළුවන් පුලුවන්.

විසිතුරු මාළු ගම්මානයක් දෙකක් ඇති කරගන්න පුළුවන් නම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ගේන්න පුළුවන්. මේ දේවල් ගැන අලුතෙන් උනන්දුව දක්වන තරුණ පරම්පරාව එකතු කරගන්න ඕන. උසස් පෙළ විභාගයෙන් පසුව යමක් නොකරන ළමයි කොපමණ සිටිනවාද. ඒ නිසා සංඛ්‍යාලේඛන දෙස සාම්ප්‍රදායික විදිහට බලන්න එපා. ළමයි 1000ක් පාසලෙන් පිට වෙනකොට ඉන් කොටසක් යමකට බද්ද වෙනවා. අනෙක් කොටස මොනවා හෝ අලුත් දෙයකට සම්බන්ධ කරගන්න ඕන.
අපිට ඕනෑකම තියෙනවා නම්, දායක වෙන්න විවිධ ආයතන තියෙනවා. එකතුවෙලා වැඩකරන්න පුළුවන් පුද්ගලික අංශය මේ ප්‍ර දේශයේ ඉන්නවා. ඒ සමාගම් කැඳවලා කතා කරන්න. සම්ප්‍රදායෙන් එහා ගිහින් මනුස්සකමයි අපි මේ කතා කරන්න. මිනිස්සු බඩගින්නේ තියන්න අපට බැහැ. අපේ ජනතාව මුහුණ දෙන ගැටලු වලින්, ජනතාව මුදවා ගන්න මේ වැඩපිළිවෙල සාර්ථක කර ගන්න වෙනවා.

ලංකාවේ බිත්තර ඉල්ලුම වැඩිම කාලය මෙයයි. නමුත් අපිට ඒ ඉල්ලීම සපුරන්න බැහැ. බිත්තර මිල ඉහළ යනව. කුකුළන් කිහිප දෙනෙක් ඉන්නවා කියන්නේ ප්‍රොටීන් ගහක් ගෙදර තිබුණ වගේ. අපේ මහ පොළොව පොහොසත්. අපි හයිය දුන්නොත් ජනතාව යළිත් හිස ඔසවලා ආදායම් මාර්ග වලට පිවිසෙයි.

මේ උත්සාහයන් එකින් එක තමයි සාර්ථක කළ හැකි වෙන්නේ. ගමින් ගම මේ වැඩපිළිවෙළ සමග එකතු වුණොත් ග්‍රාම සේවා කොට්ඨාස 14000ම මේ වැඩපිළිවෙළට එකතු කරගත හැකියි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළත් දැන් කුකුල් පැටව් ඇති කරනවා. මල් පෝච්චි ආශ්‍රිතව වගා කරමින් තමන්ගේ ආහාරයට අවශ්‍ය දේවල් සම්පාදනය කරගැනීමේ තත්ත්වයට කොළඹ නගරයේ තට්ටු නිවාස පරිවර්තනය වෙමින් තිබෙනවා.

අහරින් ස්වයං පෝෂිත වී මේ අභියෝගය දිනන්න අපිට පුළුවන්. වේරගල ග්‍රාමීය රෝහල අතහැර දාලා තියෙන්නේ. කරුණාකර එහි වපසරිය හොයලා ගම්පලාතේ තරුණයින්ට වගා කටයුතුවලට වසර දෙකකට බාර දෙන්න. ඔප්පු හොය හොය ඉන්න එපා. ඒක ආණ්ඩුවට අයිති බවට ඇසින් දුටු සාක්ෂි තියෙනවා. මේ වගේ තැන් ඉඩම් කිහිපයක් මේ පළාතේ තියෙනවා. අලුත් සැලසුම් අවශ්‍ය නැහැ. තියෙන පරණ පොත් පෙරලලා බැලුවොත් වැඩකරන්න පුළුවන්.

විදුලි බිල වැඩියි කියන කාරණය යන යන තැන කියනවා. සාදාරණයි. මෙයට විකල්පයක් සොයාගන්නේ කොහොමද කියන දේ සාකච්ඡා වෙනවා. මේ ගමනේදී මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙමින් විසදුම් සොයමින් යම් කිසි දුරකට රට ගෙන ගියොත් මීළග කන්නෙන් පස්සේ අපිට ජයග්‍රහණ කරා යන්න පුලුවන් කියන විශ්වාසය තියෙනවා. රට අහරින් ස්වයංපෝෂිත කිරීම සදහායි ඔබසැම මේ දායකත්වය දක්වන්නේ.

මෙවර අයවැයෙන් ඵලදායී ආහාර නිෂ්පාදනයට හා ඵලදායි අපනයන සදහා ප්‍රමුඛත්වය දී තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහන, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සභාපති සරත් විතාන මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.