නිවසක් නැතිව උපන් බිමේ බෝඩිංකාරයන්වන යුගය නිමා කළ යුතුයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන්වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අටසීයකට නේවාසික පහසුකම් සැළසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත “කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) පස්වරුවේ මේ බව සඳහන් කළේය.
කොළඹ 05 පොල්හේන්ගොඩ කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහා ද මෙම නිවාස සංකීර්ණයෙන්ම නිවාස ලබා දීමට පියවර ගෙන තිබේ.
නිදන කාමර දෙකක් ඇතුළුව සියලු පහසුකම්වලින් සමන්විත මෙම නිවාස 528 ඉදිකිරීමට බදු රහිතව වැය කළ මුදල රුපියල් මිලියන 1900කට ආසන්න වේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණය ඇතිව මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළේය.
නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය ද මෙහි වැඩම කර සිටියහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා වෙන් කර ඇති ගොඩනැගිල්ල නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් එම ගොඩනැගිල්ලේ අනුරුවක් අග්‍රාමාත්‍යතුමා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට හා කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
නිවාසලාභීන් පස් දෙනෙකුට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නිවාසවල යතුරු භාර කෙරිණි.
“කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,
2014 වර්ෂයේදී තමයි අපි මේ නිවාස සංකීර්ණය හදන්න මුල පිරුවේ. මේ නිවාස සංකීර්ණය සුවිශේෂී නිවාස ව්‍යපෘතියක්. කුලුනු තුනක් විදියට ඉදිවෙලා තිබෙන මෙම නිවාස සංකීර්ණයෙන් එක් කුලුනක් සම්පූර්ණයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන්වෙනවා. ඒ එහි නේවාසිකාගාරයක් විධියට යොදාගන්න.

මිත්‍රවරුනි,
මේ නිවාස ව්‍යාපෘතියට ඉඩම් දීපු ජනතාවටත්, කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කරන ජනතාවටත් මේ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචිවෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට උවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතැනින් නොමිලේම නිවසක් ලැබෙනවා.
ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකිවෙලා තියෙනවා. ඔවුන්ට නිවසකට උරුමකමක් වගේම තමන්ගේම කියල ලිපිනයකුත් ලැබිල තියෙනවා.
අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. අපි ක්‍රියාත්මක කරන නිවාස වැඩ සටහන්වලදී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නෑ. ඒ වගේම පක්ෂ භේදයකුත් නෑ.
මතක තියාගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. ඒ යුගය ඉදිරි වසර කීපය තුළ නිමා කරන්න ඕනේ.
අපි මේ නිවාස වැඩ සටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිව. ඉදිරි දැක්මක් ඇතිව. මේක දේශපාලන අරමුණකින් කරන වැඩ පිළිවෙලක් නෙවෙයි.
නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතිවල ප‍්‍රචාරණ වියදම රුපියල් කෝටි ගණනක්. ඒ මුදල්වලින් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා.
අපේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන හොඳ අත්දැකීම් තියෙනවා. මටත් හොඳ අත්දැකීම් තියෙනවා. මමත් ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්‍යාපෘති ගැන බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා.
මට මතකයි ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩ කර කර ගෙවල් හදනකොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විධියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා.
අපි ගෙවල් හදන්නේ අපේ රට ගැන හිතලා. අපි නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘති විදියට.
ඒ වගේම අපි දෙන ගෙදර පවුලක් හැටියට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා.රට පුරාම අපි මේ නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියනවා.
නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000 ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083 ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියනවා.
ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරලයි තියෙන්නේ.

මිත්‍රවරුනි,
එදා අපි කොරියාව කියල කිව්වේ අප්‍රසන්න මුඩුක්කු පරිසරවලට. ඒත් අද කොරියාව කියන්නේ ඉහළ සංවර්ධනයක් හිමි කර ගත් ලස්සන රටක්. චීනයටත් ඒ වගේම අපහාස කරපු කාලයක් තිබුණා. අද චීනය ලොව බලවත්ම රාජ්‍යයක් බවට පත්වෙලා.
පැල්පත් හා මුඩුක්කුවලින් තොර රටක් වෙනුවෙන් නාගරික සංවර්ධනයේ විප්ලවීය වෙනසකට අපි මුලපිරුවේ 2010 දි බව කියන්න ඕනෙ. 2014 වන විට අපිට හැකිවුනා, පැල්පත් හා මුඩුක්කුවල ජීවත් වුනු විශාල පිරිසක් මහල් නිවාස වල පදිංචිකරවන්න.

මිත්‍රවරුනි,
කොළඹ නගරයේ ගරා වැටුණු පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගොඩනැගිලි අපි නැවත ඒ ආකාරයටම ප්‍රතිසංස්කරණය කරල නගරයට අලුත් පෙනුමක් ලබාදුන්නා.
ඒනිසාම “වේගයෙන්ම දියුණුවන නගරය” ලෙස 2015 දී කොළඹ නගරය ජාත්‍යන්තරයේ සම්මානයට පවා ලක්වුණා. ඒ සියල්ලම යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළා. දැන් අපිට සිද්ධවෙලා තියෙන්නේ නතරකළ තැනින් ආයිමත් මුල ඉදන් පටන්ගෙන යන්න. හැබැයි අපි මේ කෙටි කාලය තුළ වැඩ ගොඩක් කරලා තියෙනවා. සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දීමත්, නගර සංවර්ධනයත් සැළසුම් සහිතව සිදු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ.
අපි නිවාස වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දේශපාලනය ගැන බලලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලයි. ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්ම මහත්මීහු ඇතුළු නිවාස ලාභීහු පිරිසක් එක්ව සිටියහ.