වගා කරන්න කියලා අපේ ආණ්ඩුව හදිසියේ නීති රීති පනවන්නේ නැහැ. සියලු දෙනා සාමූහිකව වගා කරන්න එකතු වෙන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

හදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සංවිධානය කළ ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා තිරසාර කෘෂිකර්මාන්තය සඳහා ජනතා සවිබල ගැන්වීමේ වැඩසටහන 2022.11.18 දින කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආර්ථිකයට බරපැනක් තිරසර ගෙවත්තක් යන මැයෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන යටතේ තිරසාර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂි භාණ්ඩ බෙදාදීමක් සංවිධානය කොට තිබිණී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා -

එකම මහ පොළොවක අපි මෙම ගෙවතු වගා වැඩසටහන එලෙස සංවිධානය කොට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින්ට සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වැඩසටහනක් රජය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් පස් දෙනෙක් යොදා තිබෙනවා.

අපේ රටත්, ලෝකයත් ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ මහ කන්නය අපි සාර්ථකම කන්නයක් කරගත යුතුයි. දරුවන් වෙනුවෙන් මේ අඩිය ඉදිරියට ඉදිරිය තියන්න සහයෝගයෙන් එකමුතුවෙන් වැඩ කරන්න ඕනේ.මේ මහපොළොවේ මොනවා වැව්වත් දවස් 60කදී 70දී ඵලදාව තියෙනවා.

ආදායමක් උපයා ගන්නට පුළුවන් සැලසුම් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මෙය සරල වැඩපිළිවෙළක් මිස මහා පරිමාණ සමාගම් වැඩපිළිවෙළක් නොවේ. හැම තානාපතිවරයෙක්ම ශ්‍රී ලංකාව ගැන විශ්වාසයෙන් කතා කරනවා. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයෙන් ආදර්ශමත් ලෙස ගොඩ ආ රටක්. මේ පවතින අර්බුදය ජය ගැනීමට රට පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට රටවැසියා දක්වන උනන්දුව තානාපතිවරුන් පැසසුමට ලක් කරනවා. අපේ රටේ ආර්ථික පුනර්ජීවනයේ වැඩකොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාවය හඳුන්වන්න පුළුවන්. මේ ගැටලුව විසඳා ගැනීමට අපේ පළාතට හදබිම අධිකාරියෙන් උදව් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

ජනතාව කතිරේ ගහලා පාර්ලිමේන්තු යවපු මන්ත්‍රී කෙනෙක් හැටියට, මම මොන තනතුරු දැරුවත්, ජනතාව සමග සිටිමින් බැඳියාව හා යුතුකම ඉටුකරනවා. තරුණයන් සහ තරුණියන් යම් යම් අලුත් ක්ෂේත්‍ර සඳහා පිවිසෙමින් සිටිනවා. ආහාර නිෂ්පාදන වැඩසටහන් වලට උනන්දුව දක්වන සැමට එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගයන් රජය ලබා දෙනවා. තරුණ තරුණියන්ට මම ආයාචනා කරනවා. ඔබ වෙනුවෙන් රජය හැකි සෑම පියවරක්ම ගන්නවා. මේක නිකං සල්ලි බෙදන ව්‍යාපෘතියක් නෙවේ. සල්ලි බෙදන ව්‍යාපෘති ඕනතරම් ක්‍රියාත්මක කෙරුනා. ආයෙමත් හැරිලා බලනකොට හිතෙනවා ඒවා හැම එකක්ම සාර්ථක වුණාද කියලා.

ගමේ පාසලේ ඔබේ අපේ දරුවෝ අහරින් ස්වයංපෝෂිත කළ යුතුයි. ගමේ නිෂ්පාදනය කරන දෙයින් පාසලේ එක ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් වෙන්න සියලු දෙනා සාමූහිකව එකතුවිය යුතුයි. ඒ කාලේ සුදු ආණ්ඩුව නියෝග කළේ හැම වත්තකම ගොවිපලක් තිබිය යුතු කියලයි.ඒ වගේම සත්ව ආහාර, කිරි නිෂ්පාදනය සඳහා ඔවුන් නීති ගෙනාවා. එම නීති තවම අවලංගු වෙලා නැහැ. ක්‍රියාත්මක නොකරන පරණ නීති රීති හුඟක් තියෙනවා කියලා ජනාධිපතිතුමා අයවැය ලේඛනයෙන් කිව්වා. ඒ නිසා අපි නීති සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒත් හදිසි නීති රීති පනවලා වගා කරන්න කියලා අපේ ආණ්ඩුව කියන්නේ නැහැ. සාමූහිකව සියලු දෙනා මේ මහ කන්නය වගා කරන්න එකතු වෙන්න කියලා මම ඉල්ලනවා.

අපි රුපියල් බිලියන ගානක් ඉදිකිරීම් සඳහා වැය කරන රටක්. ඒ ඉදිකිරීම්වලින් හරි ප්‍රයෝජනයක් ගන්නවද කියලා නැවත සලකා බැලිය යුතුයි. අද මේ අර්බුදයත් එක්ක ඉදිකිරීම් සියල්ල නවත්වන්න සිදුවෙලා තියෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කිරීම යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගය උපරිම ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපට ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ජනතාවට වෙලාව ඉතුරු වෙනවා. මේ අපිට හැමදේම ඉතුරු කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. හැමදේම ඉතුරු කළ යුතුයි. ඉතුරු කළ යුතුමයි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, ජාතික භාෂා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.