අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

රාජ්‍ය මැදිහත්වීමෙන් අධ්‍යාපනය ලබන සහ ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් ඉටු කල යුතු වගකීමක් තිබෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 14 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙම අදියරට අදාළ ව 2023 සහ 2024 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බස්නාහිර පළාත් සිසුහු ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ටයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 36.1 ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි.

උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ජනාධිපති අරමුදල යනු ජනතාවගේ අරමුදලක් වන බවත්, එය ජනතාවට අයිති අරමුදලක් ලෙස දැනෙන්න වැඩ කටයුතු කිරීමට රජයක් ලෙස විශේෂ උත්සාහයක් ගත් බවත් පැවසුවා ය.

මෙතෙක් විශේෂ බලයක්, තනතුරක් දරන අයට පමණක් ප්‍රතිලාභ ලබා ගැනීමට පහසුවක් ව තිබූ, සාමාන්‍ය ජනතාවට ලංවීමට දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබූ ජනාධිපති අරමුදල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ හා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා අයදුම් කිරීමට හැකි සරල ක්‍රමවේදයකට ගෙන ඒමට අප රජය සමත්ව තිබෙනවා.

මේ සියලු වැඩසටහන් අපි සිදු කරන්නේ අපේ මානව සම්පත වර්තමාන ලෝකයට ගැළපෙන අයුරින් දියුණු කරගෙන ඉදිරි ගමනක් යන්න. වර්තමාන ලෝකයේ තියෙන සංකීර්ණත්වය තේරුම් ගෙන ගමන් කළ හැකි මානව සම්පතතක් බිහි කරන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා.

ඒ සඳහා තමයි 2026 වසරේ සිට අපි අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් ඇති කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කරන එක.

අපට අවශ්‍ය වන්නේ පරිසරයට ආදරය කරන, පරිසරය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන, නායකත්වයක් ඇති, සහකම්පනයෙන් සහ සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන වගකීම් සහගත මානව සම්පතක් බිහි කරන එක.

සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙලා තියෙන්නේ මේ රටේ සියලුම ජනතාවගේ බදු මුදල්වලින්. ඒ සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයින් පිරිසක් නිසා තමයි ඔබ අපට විශේෂයෙන්ම වටින්නේ.

අද දින මේ සිදු කරන ඇගයීම අපි ඔබට කරන ආයෝජනයක්. රාජ්‍ය මැදිහත්වීමකින් අධ්‍යාපනය ලබන සහ රාජ්‍ය මැදිහත්වීමකින් ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් වගකීමක් තියෙනවා” යැයි පැවසුවා ය.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා,

හෘදයාබාධ වැනි දරුණු රෝග තත්ත්වයන් වෙනුවෙන් මුදල් ආධාර ලබාගත හැකි අරමුදලක් ලෙස ජනතාව අතර ප්‍රචලිතව තිබූ ජනාධිපති අරමුදල නව ආණ්ඩුව යටතේ භාවිත කිරීමේ විෂය පථය පුළුල් කර ඇති අතර, අධ්‍යාපනය එහිදී විශේෂ ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිසිවෙකුත් අත් නොහැරීම (Inclusivity) යන රජයේ දැක්ම හා ජනාධිපති අරමුදල එකට බැඳී පවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි මහතා, චන්දිම හෙට්ටිආරච්චි මහතා, ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති අරමුදලේ පාලන මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක් වූ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දෙන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දෙසැම්බර් 13 වෙනිදා නුවරඑළිය නගර සභාවේ “සෙනිසිටා” ශාලාවේ දී නුවරඑළිය දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව අමතමිනි.

දිවයිනේ පාසල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ ද ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගත යුතු බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බවත් පැවසූ එතුමිය දුෂ්කරතාවලට මුහුණ දුන් ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළා ය.

කුමන බාධක මධ්‍යයේ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත්, ඊට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කිරිමේ කටයුතු 51% කින් අවසන් බවත් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරින් විසින් ප්‍රකාශ කළ අතර, අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසුව රට පෙරටත් වඩා ඉදිරියට ගෙන යාමට නම් සියලු දෙනා එක්ව අභියෝග ජය ගත යුතු බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍යය අංශය

අග්‍රාමාත්‍යවරිය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා සමඟ අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක

පුරවැසිභාවය, ආචාර ධර්ම සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා වන Julian Hill මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් 2025 දෙසැම්බර් 10 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

මෑතක දී මුළු දිවයිනට ම බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව, මානුෂීය ආධාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 3.5 ක මූල්‍යමය දායකත්වය සඳහා අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා ය. දැනට අතුරුදහන් වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවත්, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් රට යථා තත්ත්වයට පත්වීමේ ඊළඟ අදියර ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධන සහයෝගීතාව, ආර්ථික හා වෙළඳ සබඳතා, සංචාරක, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගීතාව කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඕස්ට්‍රේලියනු රජය විසින් ලබා දී ඇති දිගුකාලීන සහයෝගීතාවය අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කරන ලදී.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අවධාරණය කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමුඛතා සහ පුළුල් සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස සිය සහාය ලබා දීමට කටයුතු කරන බව ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Matthew Duckworth, පළමු සහකාර ලේකම් Karen Ann Sandercock, කාර්ය මණ්ඩල ප්‍රධානී Cameron Geoffrey Green, කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අප්සරා කල්දේරා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත සමාලෝචනය කරයි

UNICEF ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

මෙහිදී නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත පිලිබඳ පළමු සමාලෝචනය සිදු කළ අතර දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සමපාත වන ලෙස නව ඩිජිටල් ප්‍රතිපත්තිය සැකසිය යුතු බව විශේෂයෙන් අවධාරණය කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිංස්කරණ තුළ ඇති විෂය මාලා ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මූලික කුළුණු පහටම සහාය වන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

වත්මන් කෙටුම්පත ප්‍රධාන වශයෙන් විෂය මාලාව ආශ්‍රිත කරුණු කෙරෙහි කේන්ද්‍රගත වී ඇති බවත්, සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහිම බලපාන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බවත් එහිදී අවධාරණය කෙරිණ.

ඩිජිටල් සාක්ෂරතාවය, NEMIS සහ ඩිජිටල් යටිතල පහසුකම් ලබා දීම, ඩිජිටල්කරණයේ පවතින පරතරය අවම කිරීමේ වැදගත්කම කෙරෙහිද පුළුල් ලෙස සාකච්ඡා විය.

ගුරු පුහුණු ක්‍රමවේදයේ පවතින අඩුපාඩු කෙරෙහි ද අවධානය යොමු කළ අතර, කඩදාසි භාවිතය අවම කිරීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

UNICEF ආයතනයේ නියෝජිත Dr.Emma Brigham, Deborah Wyburn, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් ඒ.බී.එම්. අශ්රෆ්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලිය, ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීමටත්, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

දේශීය අපනයනකරුවන් ශක්තිමත් කරමින් වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලිය, ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීමටත්, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 27 වන ජනාධිපති අපනයන සම්මාන 2024/25 උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත් වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනැමිණි. අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය සහ ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය මත සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු විය. අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම ඇතුළු නිර්ණායක කිහිපයක් මත පදනම් ව සම්මාන පිරිනැමීම සඳහා සුදුස්සන් තෝරාගෙන තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ ඉහළ කාර්යය සාධනයක් පෙන්නුම් කළ ආයතන සඳහාවසරේ විශිෂ්ඨතම ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

අපනයන කරුවන් සඳහා වන ජනාධිපති සම්මාන උළෙල, ප්‍රතිපත්ති හෝ පාලනය මත පමණක් නොව, නිෂ්පාදනය කිරීමට, වටිනාකමක් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තරව තරඟ කිරීමට ඇති හැකියාව මත ශ්‍රී ලංකාවේ ප්‍රගතිය රඳා පවතින බව සිහිපත් කරනවා.

පසුගිය වසරේ අපි අභියෝග රැසකට මුහුණ දුන්‍නා. ඒ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ, වෙළඳපොළ සැපයුම් දාම වෙනස් වුණා. ආර්ථික අවිනිශ්චිතතාව ඇති වුණා. ස්වභාවික ආපදා වලට ලක් වුණා. . ඒත් සමඟ අපනයනකරුවන් බොහෝ දෙනෙකුට වෙනස් වු තත්වයන් නුව වෙනස් වීමට, නිෂ්පාදන ක්‍රියාවලීන් නැවත සකස් කිරීමට, ගනුදෙනුකරුවන් විවිධාංගීකරණය කිරීමට සහ තරඟකාරීව වෙළඳපො⁣ළ තුළ රැඳී සිටීමට ඩිජිටල්තාක්ෂණය වෙත යොමු වෙන්න සිදු වුණා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම නිසාත් අපනයන අංශයේ කර්මාන්ත කිහිපයකට බලපෑම් ඇති කළා. ආපදාවට පත් කලාපවල නිෂ්පාදන ස්ථාන, ගබඩා පහසුකම් සහ ප්‍රවාහන මාර්ග හානි සිදු වුණා. නිෂ්පාදන දාමයන් සහ බෙදාහැරීමේ කාලසටහන් වලට බාධා ඇති වුණා.

මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ ජාත්‍යන්තරව අපනයන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන විට සමහර අපනයනකරුවන් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබෙනවා.

හදිසි ආපදාව නිසා අපනයනකරුවන්ට සිදු වූ හානිය තක්සේරු කිරීමටත්, මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමටත් යළි නැගීසිටීමටත් රජය සහය ලබා දෙන්න කටයුතු කරනවා.

ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ යළි එවැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම වන පරිදි හානියටපත් ප්‍රදේශ නැවත ගොඩනැගීම වෙනුවෙන් රජය කටයුතු කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ නව පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති අස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල නොගැලපීම සහ පරිපාලන අකාර්යක්ෂමතාවන් නිසා රට ආපස්සට ගියා. මේ නිසා ආයෝජකයින්ගේ විශ්වාසය දුර්වල වුණා වගේම ව්‍යාපාරවලට ඉදිරි සැලසුම් සකස් කිරීම දුෂ්කර වුණා.

නමුත් වත්මන් රජය ස්ථාවරත්වය, විනිවිදභාවය සහ වගකිවයුතු පාලනය මත කටයුතු කරනවා. මෙය කෙටි කාලීන ප්‍රවේශයක් නොවේ. එය රට අවිනිශ්චිත තත්ත්වයට නැවත නොවැටෙන දිගුකාලීන ක්‍රියාවලියක්

රජය ඒ වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය කළමනාකරණය, පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති, පැහැදිලි සහ සරල රෙගුලාසි, දූෂණ විරෝධී පියවර, ප්‍රධාන ආයතන හරහා සිදු කරණ නව ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරවලට ඉදිරිය සැලසුම් කළ හැකි, ආයෝජකයින්ට විශ්වාසයක් ඇතිවන සහ අනවශ්‍ය බාධා අවම වන, පෞද්ගලික අංශයේත් සංවර්ධනයට මඟ පාදන ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

ජාතික වියදම් පවත්වා ගැනීම සඳහා අපි බොහෝ කාලයක් ජාත්‍යන්තර ණය මත දැඩි විශ්වාසය තැබුවා. නමුත් ස්ථිර අනාගතයකට ඒ ක්‍රමවේදය වැරදි මාර්ගයක්.

අපගේ ප්‍රගතිය රඳා පවතින්නේ වෙළඳාම, නවෝත්පාදනය සහ ගෝලීය මැදිහත්වීම තුළින් අපට උපයා ගැනීමට ඇති හැකියාව මත යි.

ශ්‍රී ලාංකික විශේෂඥතාව සහ නිර්මාණශීලිත්වය ලෝකයට ගෙන යාමට ඔබට ඇති හැකියාව මුළු ජාතියටම ශක්තියක්. ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන්න රජය සූදානම්.

ප්‍රතිපත්තිවල නොගැලපීම, මෙහෙයුම් පිරිවැය වැඩි කරන ප්‍රමාදයන්, තරඟකාරී මූල්‍යකරණයට ඇති සීමිත ප්‍රවේශය, යටිතල පහසුකම් සහ තාක්ෂණයේ අඩුපාඩු, වෙළඳ පහසුකම් සැපයීමේ අඩුපාඩු, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමේ මන්දගාමී ප්‍රගතිය යන කරුණු ඔබට බලපා ඇති බව අපි දන්නවා. රජය මෙම ගැටළු සෘජුවම ආමන්ත්‍රණය කරන බව මම කියන්න කැමතියි.

කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි පද්ධති ගොඩනැගීම සිදු කිරීමත්, වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලීන්, ආයෝජන අනුමත කිරීම් සහ අපනයන පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම, දේශිය ව්‍යාපාර සහ ගෝලීය වෙළඳපොළ අතර පරතරය අවම කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකරන්, සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, එරංග වීරරත්න, අරුණ් හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර, මුදිත හංසක විජයමුණි, මහ බැංකු අධිපති, නන්දලාල් වීරසිංහ, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීන්, තානාපතිවරුන්, විදේශීය නියෝජිතයින්, අපනයනකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ජන සහභාගීත්වය සහිත ක්‍රමවත් යාන්ත්‍රණයක් අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පැවති ආපදා තත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක් රැස් කර ගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පැවති ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කර ගැනීම පිළිබඳව ඊයෙ (දෙසැම්බර් 10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මහාචාර්ය නිහාල් පෙරේරා විසින් ස්වභාවික ආපදා අවම කර ගනිමින් ස්වභාව ධර්මය සමග රටේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී විශේෂ දේශනයක් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නව සංවරිධන වැඩ පිළිවෙළකට යාමෙිදී අපිට තිබෙන ප්‍රධාන ගැටළුව තමයි විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති වීම.

බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් වගේම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රම වේදයක් ඇති කිරීම ඉතා වැදගත් ග්‍රාමීය මට්ටමේ තොරතුරු නිවැරදි ව දන්නේ ඒ පිරිස. ඒ නිසා ප්‍රාදේශිය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත් බව අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න,

ජන සහභාගීත්වය හරහා සිදු කරන කටයුතු කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණය පැවති ආපදා තත්ත්වයේදී අපිට හොද අවබෝධයක් ලැබුණා.පැවති ගංවතුර තත්ත්වය හමුවේ කඩුවෙල ප්‍රදේශයේ ජනතාව සහභාගී කරගෙන අපි කටයුතු කළ ආකාරය ඉතාම සාර්ථකයි. ඒ සඳහා අපිට කොට්ඨාස සභා ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. දත්ත රැසිකිරීමේ ක්‍රියාවලියටත් ප්‍රජා ශක්ති, කොට්ඨාස සභා වැනි ක්‍රමයක් භාවිත කළ හැකි නම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, දත්ත සම්බන්ධ කාරණයේදී රාජ්‍ය ආයතන අතර මනා සබඳතාවක් නොතිබීම ප්‍රධාන ගැටළුවක්, ආයතන අතර නිසියාකාර සම්බන්ධිකරණයක් නොතිබීම සහ තමන්ගේ සීමාව තුළ රාජකාරි සිදු කිරීමට පමණක් නිලධාරීන් කටයුතු කිරීමත් මේ තත්වය ඇති වෙන්න හේතුවක් වී තිබෙනවා. සියළු ග්‍රාම නිලධාරී වසම් ඒකාබද්ධ වූ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම ඉතාම වැදගත් යැයි පැවසුවේය.

දත්ත මත පදනම්ව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය