අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි.

2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 19 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා ය.

’A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇත.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පුත්තලම වේලාසීය රජයේ විද්‍යාලයට ගුරු නේවාසිකාගාරයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා."

ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරනවා

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරන බවත්, ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව ජනවාරි 17 දින මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේදී අගමැතිනිය මේ බව සදහන් කළාය.

වෙලාසිය විද්‍යාලයට කලක සිට අවශ්‍යව පැවති ගුරු නේවාසිකාගාර ගොඩනැඟිල්ල ස්ථාපනය කිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී සිදු කෙරිණි.

සමස්ත ලංකා සම්මාන ලැබූ විද්‍යාලයේ සිසුන් අගයමින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය.

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

පාසල් වර්ගය, පාසලේ ප්‍රමාණය, පාසල අයත් වන ප්‍රදේශය අනුව අධ්‍යාපනයේ මට්ටම තීරණය වූ කාලය අවසන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වලට තාක්ෂණික උපාංග ලබා දෙමින් සිසුන් තාක්ෂණික අධ්‍යාපන රටාවකට හුරුකිරීමේදී ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති මත එය ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා. ඒ සඳහා වන ගුරු පුහුණු තුළින් ගුරුවරුන් ඒ සම්බන්ධව දැනුවත් කරන්න කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා.

පාසල් අතර තිබෙන තාක්ෂණික අසමානතා ඉවත් කරමින් සියලු දරුවන් අපේ දරුවන් සේ සලකා දරුවන් අතර තිබෙන අධ්‍යාපනික මෙන්ම සමාජීය පරතරයන් ද ඉවත් කිරීම සඳහා රජයක් ලෙස අපි කටයුතු කරන්න සූදානම්.

අප රටේ දෙමාපියන් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඔවුන් ඔවුන්ගේ සියලු සම්පත් කැප කරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට. අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පවතින අධ්‍යාපන අසමානතාව ඉවත් කිරීමට කටයුතු කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් දරුවන්ට සුවදායී හෙටක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් ගන්නා උත්සාහයට එය උදව්වක් වෙයි කියා මම සිතනවා.

පැවති අධ්‍යාපනයට අනුව දුෂ්කර පළාත්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපනය රැකී තිබුණේ එම පාසල්වල සිටින ගුරුවරුන්ගේ දක්ෂතා මත පදනම්වයි. නමුත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ඔස්සේ ගමේ සහ නගරයේ පාසල්වල පවතින වෙනස නැති කරමින් දුෂ්කර පාසල් කියා පාසල් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය නවත්වනවා.

රජයේ නව ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී ගොඩනැඟෙන රට සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා සහිත දරුවන් අවශ්‍යයි. ඊට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරී⁣ම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුකර අවසන්.

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා.ගුණාත්මක අධ්‍යාපනයේ අවශ්‍යතාව වටහා ගනිමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, පුත්තලම දිස්ත්‍රික් නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සහ පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඇතුළු දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පුත්තලම සහිරා විද්‍යාලයේ සිසුන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත වේ.

​"දත්ත, ප්‍රතිපත්ති සහ දරුවන්ට හොඳම දේ ලබා දීම අපේ අරමුණයි. දේශපාලන වුවමනා හෝ වෙනත් කිසිදු දෙයක් අපට වැදගත් නැහැ; අපට වැදගත් වන්නේ දරුවන් පමණයි" යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇති වූ ’දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව, ජනවාරි 17 පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ නිරීක්ෂණයට එක්වූ අවස්ථාවේදීය.

​එහිදී පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද පාසලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

​පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමා ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, විද්‍යා විෂය පමණක් නොව අනෙකුත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම දරුවන්ට දැනුම ලබා දිය යුතු බවයි. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, බෙදීම් ඇති සමාජයක් ගොඩනැගීම රජයේ දර්ශනය නොවන බවත් අවධාරණය කළාය.

​තවද, දරුවන් වෙනුවෙන් හොඳම දේ කළ යුතු බවත්, ඒ සඳහා ගත යුතු තීරණ සම්බන්ධ යෝජනා පාසල් මට්ටමින් සාමූහිකව සාකච්ඡා කර තමන් වෙත දන්වන ලෙසත් ඉල්ලා සිටියාය. පාසල් වශයෙන් බෙදී වෙන් වී දරුවන්ට සුවපහසු අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බවත්, සැමවිටම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් වැඩිදුරටත් පැවසුවාය.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය:

​"අතීතයේ ගනු ලැබූ වැරදි තීන්දු තීරණවල ප්‍රතිවිපාක අප දැන් භුක්ති විඳිනවා. නමුත් අපට දැන් යහපත් වර්තමානයක් තිබෙනවා. එබැවින් මින් ඉදිරියට දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට අප පුරුදු විය යුතුයි."

​විවිධ දක්ෂතාවලින් පූර්ණ දරුවන් බිහි කිරීම සඳහා එක් විෂයකට පමණක් සීමා නොවී, සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම අවබෝධයක් ඇති දරුවන් නිර්මාණය කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

​මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක කුමාර මහතා, අජිත් ගිහාන් මහතා, මොහොමඩ් ෆයිසාල් මහතා සහ හිරුණි විජේසිංහ මහත්මිය ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නගරාධිපතිතුමා, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්, අධ්‍යක්ෂකතුමිය ඇතුළු ගුරු භවතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස අපි අඩියක්වත් පස්සට තියලා නෑ, තියන්න සූදානමකුත් නෑ. දියත් කරපු සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක වෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බවත්, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමග අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පුත්තලම දිසාපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා, ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. මෙවැනි බරපතළ ක්‍රියාවලියකදී සුළුතර කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොතකා, රජය හා නිලධාරීන් අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය ඉදිරියටත් පවත්වාගත යුතුයි. මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන, සමස්ත රටේම ඉදිරි අනාගතය තීරණය වන ක්‍රියාවලියක් බැවින් ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය යි.

අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ විශේෂ වැඩසටහන්වලට අප මුදල් වෙන් කරලා තියෙනවා. යටිතල පහසුකම් ඇතුළු ඩිජිටල් අධ්‍යාපන පහසුකම් වන අන්තර්ක්‍රියාකාරී තිර සහ අන්තර්ජාල සබඳතා ලබාදීම මුල් මාස දෙක ඇතුළත තෝරාගත් ද්විතීයික පාසල්වලට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අපට අනුමැතිය ලැබුණා. එහි පවතින වයස් සීමා ගැටලු නිරාකරණය කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට සැලසුම් කරනවා. නායකත්ව ගුණාංග ඇති අය පාසල් පද්ධතියට අවශ්‍යයි. එවැනි අයට මම ආරාධනා කරනවා මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න කියා.

එසේම, සංවර්ධනය කිරීමට තෝරාගත් පාසල්වල යටිතල පහසුකම් පමණක් නොව දරුවන්ගේ පහසුව, ප්‍රවාහනය සහ සෞඛ්‍ය වැනි දෑ සම්බන්ධවත් සමස්ත සැලසුමක් සකස් කරන්න. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කවුන්සිලයට යොමු කරන්න. ගුරු පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම, විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කිරීම වැනි මානව සම්පත් ගොඩනැගීමේ වැඩසටහන් ද අප ආරම්භ කර තිබෙනවා

අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් මත මූල්‍ය ප්‍රතිපාදන වෙන්වූ වැඩසටහන් වන දරුවන්ගේ ජල හා සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා සැලසුම් සකස් කොට නුදුරේදීම ක්‍රියාත්මක කරන බවත්, ප්‍රාථමික පාසල් සහ සිසුන් 50ට අඩු පාසල් සංවර්ධන ක්‍රියාකාරකම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් නිලධාරීහු අග්‍රාමාත්‍යතුමිය වෙත පැවසූහ.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක කුමාර මහතා, අජිත් ගිහාන් මහතා, මොහොමඩ් ෆයිසාල් මහතා, හිරුණි විජේසිංහ මහත්මිය සහ පුත්තලම දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ කන්‍යා සොයුරියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තියයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කුමන සමාජ, ආර්ථික වටපිටාවක වුවද සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීම හා දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම අතරතුර පුත්තලම විද්‍යා විද්‍යාලයට අද (17) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් ක⁣ළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,

ශ්‍රී ලංකාවේ දනට පවතින තත්ත්වය අනුව දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගෙන ගන්නා සිසුන්ට විද්‍යාව හා ගණිතය විෂය ධාරාවන් ඔස්සේ ඉගෙන ගැනීමට තිබෙන පහසුකම් ඉතා අවමයි. සියලු සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා අඛණ්ඩ හා සමාන අවස්ථා සලසා දීම තමයි රජයේ බලාපොරොත්තුව හා ප්‍රතිපත්තිය.

විද්‍යා විෂය ධාරාව වෙනුවෙන් මේ කරන අත්හදා බැලීම ගැන මම සතුටුයි නමුත් විද්‍යා ගණිත කියලා අපි අධි තක්සේරුවක සිටිය යුතු නැහැ. විද්‍යා ගණිත වගේම අනෙක් සියලු වෘත්තීන් අපිට වැදගත්.

වෛද්‍යවරයෙක් වුවත්, ඉංජිනේරුවරයෙක් වුවත් වැඩ කරන්නේ ජනතාව සමග ජනතාව වෙනුවෙන් එහිදී සහකම්පනය වැනි මානූෂීය ගුණාංගවලින් යුක්ත විය යුතුයි. අනාගතයේදී අපේ රට යහපත් ස්ථානයක් බවට පත් කිරීමටට අවශ්‍ය සහකම්පනය සහිත සදාචාරාත්මකභාවයෙන් යුක්ත මානුෂීය සබඳතා සහිත අනෙකාට ගරුකරන පිරිපුන් පුරවැසියන් බිහිකිරීමට හැකි වන්නේ ගුණාත්මක අධ්‍යාපනයකින් පමණයි.

පාසල් තුළ බොහෝ ගුරු විදුහල්පති පුරප්පාඩු තිබෙනවා අපිට ගුරුවරුන් 23000ක් බඳවා ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව පුරප්පාඩු සහිත පාසල් වලට ගුරුවරුන් ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා.

ඉගෙන ගන්නවා කියන්නේ කරුණු මතක තබා ගැනීම පමණක් නෙමෙයි. කුතුහලය මත තොරතුරු සොයාගෙන යන්න දරුවන්ට අවශ්‍යතාව ඇති විය යුතුයි. ඉගෙන ගන්න ඉගෙන ගත යුතුයැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.

අනතුරුව පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ දරුවන් සමග සුහද පිලිසඳරක නිරත වීමටද අග්‍රාමාත්‍යතමිය කටයුතු කළාය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පලාත්පාලන අමාත්‍ය චන්දන අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ගුරුවරුන් දූදරුවන්, දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගැටලු අගමැතිනියගේ අවධානයට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම අතරතුර ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) පස්වරුවේ කටයුතු කළාය.

මේ වනවිට විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යන පැරණි ඖෂධ ගබඩාවකට අයත් ගොඩනැගිල්ල වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවත්, ඒ වන තෙක් පරිපාලන සහ අධ්‍යයන කටයුතු සිදු කිරීමට සුදුසු තාවකාලික ගොඩනැගිල්ලක් ලබා ගැනීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරිණ. ඒ අනුව අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් මත නගර සභාවට අයත් ගොඩනැගිල්ලක් තාවකාලිකව ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව පුත්තලම නගරාධිපති රින්ෂාඩ් අහමඩ් මහතා එකඟතාව පළ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා ඇතුළු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වයඹ පළාත් අධ්‍යාපන නිලධාරීන් සහ විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීන් ආචාර්යවරුන් දරුදැරියන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය