අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවති ඓතිහාසික “19th Century Views of Ceylon” චිත්‍ර ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍යවරිය එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ “19th Century Views of Ceylon” චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට 2026 ජූලි 30 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.

වෙස්ට්මින්ස්ටර් හවුස්හි මහජනතාව සඳහා පැවැත්වෙන ප්‍රථම කලා ප්‍රදර්ශනය ලෙස මෙම ප්‍රදර්ශනය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහි 19 වැනි සියවසේ ශ්‍රී ලංකාව නිරූපණය කරන ලද සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන් වන එඩ්වඩ් ලියර් (Edward Lear), ඇන්ඩෲ නිකොල් (Andrew Nicholl) සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමිං (Constance Gordon Cumming) ඇතුළු කලාකරුවන්ගේ දුර්ලභ සිතුවම් එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. පෞද්ගලික අන්තර්ගතකිරීම් වැඩි වශයෙන් සමන්විත මෙම කෘති අතරින් බොහෝමයක් ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක්කර ඇති අතර, එමගින් 19 වැනි සියවසේ මෙරට භූ දර්ශන, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතික උරුමය විදේශීය කලාකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් දෘශ්‍යමය ලෙස සටහන් කර ඇත.

ප්‍රදර්ශනය නැරඹූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, සංවිධායකයන් සහ ආරාධිත අමුත්තන් සමඟ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ කලා මාධ්‍යය ඔස්සේ ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තාය.

ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දිගුකාලීන සංස්කෘතික හා ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන අතරම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී කලා උරුමය පිළිබඳ ගැඹුරු ඇගයීමක් ප්‍රවර්ධනය කිරීම ද අරමුණු කරයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මලක තල්වත්ත මහතා, ජෝර්ජ් කීට් පදනමේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ සාමාජිකයන්, කලාකරුවන්, සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටක්, සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඒ සඳහා ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩ නැගීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතුයි.

රටක්, සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩ නැගීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ නගරාධිපති නිල නිවසේදී Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජූලි 30 වන දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

’Skills for life’ යන තේමාව යටතේ සිව් වන වරටත් සංවිධානය කරන Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව සමඟ එක්ව සංවිධානය කර තිබේ.

Sri Lanka Skills Expo 2026 ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනයන්හි කොලඹ 07, විහාරමහා දේවි උද්‍යානය පරිශ්‍රය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, රටක්, සමාජයක් දියුණු වීමටන නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත් ඒ සඳහා ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩ නැගීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත් අවධාරණය කළා ය.

ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ආයෝජන, විශේෂයෙන් ම වෘත්තිය අධ්‍යාපනය සඳහා විශාල ලෙස ආයෝජන සිදු කරමින් සිටින බවත්, එය සංකල්පයකින් එහාට ගොස් ක්‍රියාත්මක කිරීමට ද මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවද තැවදුරටත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

වෘත්තිය අධ්‍යාපනය විකල්ප තේරීමක් යන මතය නැති කළ යුතු බවත් සියලු විෂය ක්ෂේත්‍රයක්ම රැකියා අවස්ථා මෙන්ම ආර්ථික, සමාජ සංවර්ධනයට සම්බන්ධයට මෙන්ම පුද්ගලික දියුණුවට ද සම්බන්ධ වන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

මෙවැනි අධ්‍යාපනික ප්‍රදර්ශනයක් රටේ සංවර්ධනයට මෙන්ම සමාජ දියුණුව සඳහා අවස්ථාවක් විය යුතු බව ද තවදුරටත් අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා ය.

රටේ තරුණ පරපුරට විශේෂයෙන්ම සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන් හට මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා අවස්ථාව උදා කර දීම සඳහා රජය කටයුතු ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළා ය.

මෙම අවස්ථාවට කොළඹ නගාරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, සංවර්ධන පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිය ධූර කාලය අවසන් කරන කොරියානු ජනරජයේ තානාපති සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය ජූලි 28 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපතිනිය පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය ධූර කාලය තුළ තානාපතිනිය ලබා දුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය.

වාරිමාර්ග හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළුව කොරියානු ජනරජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කොරියානු ජනරජයට සිය ස්තුතිය පළ කළාය.

දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ආරක්ෂා වන පරිදි ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

කොරියානු ජනරජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් ඇතුළුව කෘෂිකර්මාන්තය හා දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල දැනට පවතින සහ අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදෙන සහාය පිළිබඳව තානාපති මියොන් ලී මහත්මිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය.

මෙම අවස්ථාව කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Eunji Kang මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැරට අග්‍රාමාත්‍යතුමිය පූජෝපහාර දක්වයි

ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැර අද (ජූලි 28) පස්වරුවේ අරලියගහ මන්දිරය අභියසින් ගමන්ගත් අතර, එහිදී වේල් පෙරහැර වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූජෝපහාරය දැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.

​සම්ප්‍රදායානුකූල බෙර වාදනය පෙරටු කරගනිමින් අරලියගහ මන්දිරයේ සිට වේල් කරත්තය අභියසට අග්‍රාමාත්‍යතුමිය කැඳවාගෙන යාමෙන් අනතුරුව එහි වැඩම කරවා තිබූ කඳසුරිඳු දේව ප්‍රතිමාව වෙත පලතුරු වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වී දේව ආශිර්වාද ලබාගත්තා ය.

​අනතුරුව, වේල් පෙරහැරේ සංවිධායක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වය අගය කරමින් මල්දමක් පළඳවා, පටසළුවක් පොරවා තම කෘතඥතාව පළ කළේය.

​කොළඹ හෙට්ටි වීදිය සහ බම්බලපිටිය නාට්ටුක්කෝට්ටෛ නගරත්තාර් ශ්‍රී නව කදිරේෂන් කෝවිල එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ආඩිවේල් මහෝත්සවය සහ රථ පෙරහැර මංගල්‍යය වර්ෂ 1874 සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන අතර, එහි 152 වැනි වේල් පෙරහැර මෙවර පැවැත්විය.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළුතර දකුණ, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමින් ජූලි 28 වන දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාර ගණයේ ආධිපත්‍යය හොබවන, බෙන්තර වල්ලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය මලේගොඩ නන්ද නායක ස්වාමීන්වහන්සේ විසින් ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරනු ලැබූ අතර, අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා මල් වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වූවාය.

අනතුරුව පැමිණසිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ අපේ ජනතාවගේ සිත්වලට වඩාත්ම අවශ්‍ය කරන්නේ සංයමය සහ ආධ්‍යාත්මික සැනසීමයි.

අපි අහලා තිබෙනවා නේරුතුමා සිරගත වූ අවස්ථාවේත් අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සමාධිපිළිමයක් ළඟ තබාගත් බව,

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමත් මම දකින්නේ සමස්ත ප්‍රදේශයේම බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුවන අතිමහත් මෙහෙවරක් ලෙසයි. විශේෂයෙන් ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහවලින් ⁣මෙවැනි ප්‍රථිමාවක් නිර්මාණය කිරීම අගය කළ යුතුයි.

රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා, ඒ වගකීම ඉටු කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී කාර්යභාරයක් රජය මේ වනවිට ඉටු කරමින් යනවා.

මෑත කාලය තුළ දිවයින පුරා පිහිටි පෞරාණික විහාරස්ථානවල පැරණි බිතුසිතුවම්, ශිලා ලේඛන සහ චෛත්‍ය රාජයාණන් වහන්සේලා අනාගත පරම්පරාව උදෙසා සංරක්ෂණය කිරීමේ පියවර රැසක් ආරම්භ කළා. නගරයේ පමණක් නොවෙයි, දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දුෂ්කර විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වේගවත් සිදු කරමින් තිබෙනවා.

විශේෂයෙන්, තරුණ පරම්පරාවට ඓතිහාසික උරුමය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීමටත්, පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කරමින් ඒවා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත්කිරීමටත් කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඓතිහාසික විහාරස්ථාන රැකගැනීම කියන්නේ හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොවෙයි, අපගේ ජාතික අනන්‍යතාවය, සදචාරාත්මක පදනම සහ අගනා සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක්. භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවත්, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි. භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ, නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ද ප්‍රධාන අරමුණ යි.

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරය වැනි විහාරස්ථානවලින් සිදුවන්නේත් රජය අරමුණු කළ සමාජය යහමගට යොමුකිරීමේ සහ හික්මවීමේ උතුම් කාර්යභාරය යි. ඒ නිසා විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය තුළින් යහපත්, ගුණගරුක සහ බුද්ධිමත් දරු පරපුරක් බිහිකිරීමටත්, ප්‍රජා සමගිය ගොඩනැගීමටත් පූජනීය මහා සංඝරත්නයෙන් සහ විහාරස්ථානවලින් ලැබෙන මාර්ගෝපදේශනය රජයක් ලෙස අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි ධර්ම මහා සංඝසභාවේ අනුනායක අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින් වහන්සේ, විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, නන්දන පුෂ්පකුමාර යන මහතවරුන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නැහැ. මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාවයි... අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන් ඒ සත්‍යය අපට කියා දුන්නා...

ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන්ගේ නිර්මාණ ඒ සත්‍යය වටහා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ආචාර්ය සුජාතා අත්තනායක වෙනුවෙන් පැවැති උපහාර ප්‍රණාම උළෙලේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද “ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම” විශේෂ උපහාර වැඩසටහන ජූලි 28 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.

දශක හතකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ දී එතුමියගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, වයස අවුරුදු අටක දැරියක ලෙසින් ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායකගේ සංගීත චාරිකාව පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය කලා ගමනක් වූ බවයි.

ජාතියක සංස්කෘතික මතකය ගොඩනැඟෙන්නේ ඉතිහාස පොත්වලින් පමණක් නොව, මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන නිර්මාණ, ස්වර සහ මතකයන් තුළින් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එවැනි නිර්මාණකරුවන් ජාතියක අනන්‍යතාව ගොඩනඟන පුරෝගාමීන් බව පෙන්වා දුන්නා ය. ඒ සඳහා ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය හොඳම නිදසුනක් බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

දශක හතකට අධික කාලයක් පුරා එතුමියගේ හඬ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත සමඟ බද්ධ වී ඇති අතර, සතුට, දුක, ආදරය, භක්තිය ඇතුළු ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී එම ගීත පසුබිම් වූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, “ආචාර්ය සුජාතා අත්තනායක ගායනා කළේ ගීත පමණක් නොව හැඟීම් බව ද සඳහන් කළා ය.

ගායනය යනු කෙතරම් ආත්මීය කලා මාධ්‍යයක් ද යන්න ආචාර්ය සුජාතා අත්තනායක සිය ජීවිතයෙන් සනාථ කොට ඇති බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එතුමියගේ හඬ කිසිවිටෙක එක් ජාතියකට, එක් භාෂාවකට හෝ එක් සංස්කෘතියකට සීමා නොවූ බව ද අවධාරණය කළා ය. සිංහල, දෙමළ සහ ඉස්ලාම් සංස්කෘතික ගීත ගායනා කිරීමෙන් මෙන්ම විවිධ ප්‍රජාවන් සමඟ කලාත්මක බැඳීම් ගොඩනැඟීමෙන් එතුමිය සහජීවනය හා සහකම්පනය ශක්තිමත් කළ කලාකාරිනියක වූ බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

එමෙන්ම ජූලි මාසය යනු මෙරට අතීත අඳුරු මතකයන් රැසක් සමඟ බැඳී ඇති මාසයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, එම වේදනාබර මතක අනාගත පරපුරට වෛරයක් ලෙස නොව, සංහිඳියාව සහ සහෝදරත්වය ගොඩනඟන මතකයක් ලෙස උරුම කළ යුතු බවත්, “කළු ජූලිය” යන හැඳින්වීමෙන් ඔබ්බට ගොස් ජූලි මාසය සියලු ලාංකිකයන් එකිනෙකාට සමීප කරන “සහෝදරත්වයේ මාසයක්” බවට පත් කළ යුතු බවත් අවධාරණය කළා ය.

වැඩිදුරටත් අදහස් පළකළ අග්‍රාමාත්‍යතුමිය,

“අපේ කලාව සහ සංස්කෘතිය කිසිදා තනි ජාතියක හෝ තනි ජන කොට්ඨාසයක නිර්මාණයක් නොවෙයි. මේ රටේ විවිධ ජනවර්ග, භාෂා සහ සංස්කෘතික සම්ප්‍රදායන් එකිනෙකා සමඟ මුසු වූ තැනින් තමයි අපේ ජාතික අනන්‍යතාව ගොඩනැඟුණේ. අපේ ගීතය හදවත්වලට සමීප වුණේත්, අපේ සිනමාව ලෝකය හඳුනාගත් කලා මාධ්‍යයක් බවට පත්වුණේත්, නර්තනය ඇතුළු සියලු කලා අංග අසමසම සුන්දරත්වයකින් බැබළුණේත් ඒ විවිධත්වය නිසයි. සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ බිහිවන්නේ බෙදී වෙන්වී ගිය විට නොවෙයි, එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන, වෙනස්කම්වලට ගරු කරමින් ඉදිරියට යන විටයි. ඒ නිසා අපේ රටේ හෙට දවස ගොඩනැඟිය හැක්කේ සියලු දෙනා එක්ව, සහෝදරත්වයෙන්, සහයෝගයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව ඉදිරියට ගමන් කළොත් පමණයි. ඒ සත්‍යය ආචාර්ය සුජාතා අත්තනායක වැනි අතිදක්ෂ කලාකරුවන් සිය ජීවිතයෙන්, සිය කලාවෙන් සහ සිය මානවීය බැඳීමෙන් අපට හොඳින්ම පෙන්වා දී තිබෙන බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය නවරත්න රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය