අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලවශයෙන් හමුවෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම තනතුරට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල වශයෙන් හමුවීම අගෝස්තු 22 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’කාලය ඇවිත් ’ ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගමැතිනිය එක්වෙයි...

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගවේශනය කිරීම අරමුණු කරගනිමින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්වෙන " කාලය ඇවිත් " ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගෝස්තු 22 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්විය.

2019 වසරේ ආරම්භ කළ මෙම ජංගම කෞතුකාගාරය මේ වන විට දිවයිනේ පළාත් 09 ක, දිස්ත්‍රික් 10 ක් සහ නගර 11 ක් ආවරණය කරමින් ප්‍රදර්ශණය කර ඇති අතර අගෝස්තු 19 දා සිට ප්‍රථම වතාවට කොළඹදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ විය. එය දින පහක් පුරා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්වෙි.

නිදහසෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් අලළා නිර්මාණය කෙරුණු මෙම ප්‍රදර්ශනය තුළ 1940 දශකයේ සිට වර්තමානය දක්වා මෙරට ඉතිහාය තුළ ජාතිය සහ ජාතික අනන්‍යතාව ගොඩනැගීම, ගැටුම් සහ ආර්ථිකය යන තේමාවන් අරමුණු කරගත් තොරතුරු ඇතුළත් වේ.

ඒ ඔස්සේ ඉතිහාසය යනු කුමක් ද? එය ලියන්නට ලැබෙන්නේ කා හට ද? ඉතිහාසය ඉගෙනගන්නා විවිධ ආකාර මොනවා ද? යන ප්‍රශ්න පිළිබඳව දරුවන්ට විවිධ ගවේෂණ සහ ක්‍රියාකරකම් ඔස්සේ සිතීමට පෙළඹවීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වී ඇත.

මෙම ජංගම කෞතුකාගාරය යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය විසින් අරමුල් සපයන, ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ එකමුතුවේ (CHDM ) සංවිධානයෙන් ද ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ආයතනයේ ( SCOPE) සහයෝගයෙන් සහ ශ්‍රී ලංකා රජයේ හවුල්කාරිත්වයෙන් පැවැත්වෙන්නකි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාමන් මොරේනෝ මහත්මිය ද ජාත්‍යන්තරය සහයෝගිතාවය සඳහා වූ ජර්මානු සංගමයේ (GIZ ) ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ මහතා සහ ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ එකමුතුවේ (CHDM ) විධායක අධ්‍යක්ෂ තනූජා තුරෙයිරාජා මහත්මිය සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ නව රජය ලෙස අපි සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපි සෑම විටම මහජන අදහස් ඇතුළුව සියලු දෙනාට සවන් දීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය කිසිදු විශේෂ කිරීමකින් හෝ බෙදීමකින් තොරව සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවත්, සියලු ජනතාවට එක ලෙස ගෞරවය, පිළිගැනීම, අභිමානය සහ මානව අයිතිවාසිකම් ලැබෙන පරිදි බවත් අගෝස්තු 22 පාර්ලිමේන්තු සභාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රිතරන් මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"රජයක් ලෙස අපි නිතරම එකමුතුකම, ගෞරවය, සංවේදිතාව, වගවීම සහ මානව හිමිකම්වලට ගරු කිරීම යන අදහස් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා.මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමේ සංස්කෘතියක් සමාජය තුළ සාමාන්‍යකරණය වී හෝ පිළිගෙන නොමැති නම් ආයතන කොතරම් පහසුවෙන් කඩා වැටිය හැකිද හෝ දුර්වල කළ හැකිද යන්න අපට දකින්න පුළුවන්. රජයක් ලෙස අප ගොඩනඟා ඇති ප්‍රකාශයන් සහ ප්‍රතිපත්තිය සමඟ අපට එය ආරම්භ කළ හැකියි. බෙදීම්, වෛරය හෝ ප්‍රචණ්ඩත්වය යන බීජ වපුරන ප්‍රකාශන වළක්වා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු අපගේ රජයේ සියලුම නියෝජිතයින් මෙම ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වාගෙන ගොස් තිබෙනවා. පැවැත්ම හෝ බලය පවත්වා ගැනීමේ මාධ්‍යයක් ලෙස ජාතිවාදයට, ප්‍රචණ්ඩත්වය හෝ වෛරය අවුලුවාලීමට යොමු නොවන බවට අප දුන් පොරොන්දුව මත අපි ස්ථාවරව සිටිනවා.මෙය සැලකිය යුතු වෙනසක්.

අපි සෑම විටම මහජන අදහස් ඇතුළුව සියලු දෙනාට සවන් දීමට ඉදිරිපත් වෙනවා. ඒ අනුව අපි නිවැරදි වීමට වගේම මහජන හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමට අපි කටයුතු කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආචාර්ය නන්දා මාලනියගේ හඬ මේ රටට සුවිශේෂී වූ අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්.... - අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය නන්දා මාලනිය වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් අගෝස්තු 22 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.

දශක හයකට අධික කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් එතුමියගේ නමින් නම් කොට විවෘත කිරීම ද මෙහි දී සිදු විය.

ඒ අනුව ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ ආචාර්ය නන්දා මාලනියගේ ඡායාරූපයක් විවෘත කිරීම සහ එහි 9වන මැදිරිය "ආචාර්ය නන්දා මාලනී මැදිරිය" ලෙස නම්කොට අග්‍රාමාත්‍යවරියගේ සහ ආචාර්ය නන්දා මාලනියගේ සුරතින් විවෘත කිරීම අද දින සිදුවිය.

ඉන් අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කළ, අග්‍රාමාත්‍යතුමිය..

"අදින් වසර හැටකට එපිට දවසක කුඩා දැරියක් මේ ගුවන්විදුලි සංස්ථාවට එනවා "ළමා පිටිය” වැඩසටහනට ගීත ගයන්න. එහිදී ඇය මුලින්ම හඬ මුසු කළේ "දුර පවනේ මේ කුළු ගුවනේ" ගීතයට යි. එලෙස ඇය දැක් වූ අපූර්ව ගායන හැකියාව හඳුනාගන්නා ආචාර්‍ය පණ්ඩිත් අමරදේවයන් අපේ රටේ පළමු වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" වෙනුවෙන් ගී ගයන්න ඇයට අවස්ථාව ලබා දෙනවා. ඒ දක්ෂ ළමා ගායිකාව "ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ" කියන අපූරු පදවැලට ගුවන්විදුලි සංස්ථාවේ ම මැදිරියක තමන්ගේ හඬ මුසුකරනවා.

එදා ඒ ගීතය ගැයූ දැරියගේ නමින් අද දවසේ ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් විවෘත වීම හරිම සුවිශේෂී අවස්ථාවක්. ඒ තමයි දේශයට යශෝරාවයක් බඳු වූ ආචාර්ය නන්දා මාලනිය.

නන්දා මාලනී නම් වූ ගායනවේදිනිය අපේ ගීත කලාව තුළ තවත් එක් නාමයක් පමණක් වුණේ නැහැ. රන්මුතු දූව චිත්‍රපටයෙන් ආරම්භ වුණ ඇගේ ගායන දිවිය තුළ හුදෙක් ප්‍රේමය, විරහව වැනි සුලභ මාතෘකා වලට පමණක් සීමා නොවී, අපේ රටට අත් විඳින්න සිදු වූ මර්දනය, දූෂණය, භීෂණය, සමාජ අසාධාරණය වගේ කාලීන මාතෘකාවන් පිළිබඳවත් නොබියව සිය ගී හඬ අවධි කරන්න ඇය කිසිවිටෙකත් පසුබට වුණේ නැහැ.

ආචාර්ය නන්දා මාලනියගේ හඬ මේ රටට සුවිශේෂී වූ අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්( Intangible Cultural Heritage ). ඔබ අපට දුන් ඒ රසවින්දනය. ඔබේ ගීතවලින් අපට සිතන්නට කළ පෙළඹවීම. මේ රටට අමාරුකාලයක් තුළ වුණත් ගීතයෙන් අපිව ශක්තිමත් කරමින් ඔබ කළ ඒ උදාර සේවයට ස්තූතිවන්ත වෙනවා. " යැයිද සඳහන් කළාය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය පාතේගම ඥානේස්වර ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කළ අතර ගරු සමන් මැක්සිමස් පියතුමා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්වරුන් ඇතුළුව ප්‍රවීණ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අග්‍රාමාත්‍යතුමිය සමඟ සාකච්ඡාවක...

පාසල් ක්‍රීඩා සමබන්ධයෙන් පවතින වත්මන් ගැටලු නිරාකරණය කර පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ අගෝස්තු 21 දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර ක්‍රීඩා සංගම්වල පවතින බලපත්‍ර ගැටලු, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගැටලු අවම කිරීම මෙන්ම ක්‍රීඩා පාසල් දියුණු කිරීම යන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා සිදු විය. සෑම සිසුවෙකුටම ක්‍රීඩාවලට සහභාගී විය හැකි පරිදි සමාන අවස්ථා සැලසීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා ය.

පවත්නා තරගකාරීත්වයෙන් බැහැරව සිසුන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය මුල් කරගත් ක්‍රීඩා සංස්කෘතියක් පාසල් තුළ ඇති කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය නිරන්තරයෙන් රැස්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව පේනවා දුන්නා ය. එමෙන් ම ක්‍රීඩා තරග සඳහා අයදුම් කිරීමේ දී පරිගණක දත්ත පද්ධතියක් හරහා අයදුම් කිරීමට කටයුතු සම්පාදනය කිරීමට ද මෙහි දී අවධානය යොමු විය.

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමී)උදාරා දික්කුඹුර සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තියෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි.

අගෝස්තු 19 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා ය.

අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

තරුණ සම්මේලනයේ නව සාමාජිකයින් හට සුබ පැතූ අග්‍රාමාත්‍යතුමිය,

"පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා.

තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේදී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි.

ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්" යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙහිදී තාරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, තරුණ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, තාරුණ්‍ය සඳහා වන සංසදය අධ්‍යක්ෂ ජනරල්, නීතීඥ සුපුන් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ තාරුණ සම්මෙල්නයෙහි සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය