අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දෙශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභිත ව්‍යායාමයකි.

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ.

රාජ්‍ය, පුද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.

අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි.

දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.

හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 01 දින

ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව අවස්ථාවක් දෙන්නේ නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් මේ රටේ ජනතාව අවස්ථාවක් නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළපලුවාව, පොතුඅරාව, අකුරේගොඩ සහ බොරළුගොඩ යන ප්‍රදේශ වල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපි මාස හයක් ඇතුළත තුන්වෙනි වරටත් මැතිවරණයකට මුහුණ දෙනවා. ඡන්දය දාන්න සූදානම් වෙමින් ඉන්නවා. තව දවස් හයයි ඉතුරු වෙලා තියෙන්නේ.

රජයේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පද්ධතිය හදාගෙන යන ගමනේ ගමේ නායකත්වයත් ගමට සුදුසු ව්‍යුහය හදාගන්න අපිට ලැබෙන අවස්ථාවක් මේක.

ඔබ මේ රට භාර දෙනකොට රටේ තිබුණු තත්ත්වය ගැන ඔබට හොඳින් අවබෝධයක් තියෙනවා. ඒක ආර්ථික කඩාවැටීමකටත් එහා ගිය ආයතනික මට්ටමේ කඩාවැටීමක්.

රටක් පවත්වාගෙන යන්න රටක පාලනය හරියට සිද්ධ වෙන්න ඒ විවිධ ආයතන තුළ පද්ධතීන් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ තැන්වල සුදුසු අය ඉන්න ඕනේ.

ප්‍රාදේශීය සභා කියන්නේ ඔබේ ජීවිතයට ඉතාමත්ම සමීපතම ආයතනයක්. ඔබේ එදිනෙදා කටයුතු කිරීමේදී තිබුණු තත්ත්වය ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා.

2024 ඔබ පරාජය කරපු ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය, නාස්තිකාර දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරගන්න සාම්ප්‍රදායික පක්ෂවලට ඉදිරිපත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා ඒ නිසා ස්වාධීන කණ්ඩායම් හැටියට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා.

හැබැයි අර පරණ මූණුමයි. ඒක අලුත් ලේබල් දාපු අලුත් බෝතලේට පරණ වයින් දානවා වගේ වැඩක්. මොකක් හරි නමකින් අලුත් ලාංඡනයකින් දැන් ඔවුන් එන්න හදනවා.

ඔය දඟලන්නේ මොකටද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ පක්ෂවලට අනාගතයක් නැති වෙමින් යන්නේ, පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් දැන් විපක්ෂයට මතුවෙලා. ඒ නිසා විපක්ෂයේ සියලුදෙනා එකමතික ගිවිසුමකට එන්න හදනවා මාලිමාව පරාජය කරන්න.

ජනතාව ඒ දූෂිත දේශපාලන කඳවුර ප්‍රතික්ෂේප කළා කියලා විපක්ෂයට තාම තේරිලා නැහැ. ඒ නිසයි පිල්ලෙයාන් වැනි අය ජාතික වීරයන් බවට පත් කරන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. තාමත් විපක්ෂය පාඩම ඉගෙන ගෙන නැත්නම් හයවෙනිදා පාඩමක් උගන්වන්න වෙනවා.

අපිට විපක්ෂයකුත් අවශ්‍යයි විපක්ෂයත් හදන්න නම් හොඳ පාඩමක් කියලා දීලා බලන්න එතකොට වත් තේරුම් ගනී ඒ ක්‍රමයෙන් නෙවෙයි විපක්ෂයට දිනන්න පුළුවන් කියලා.

මොන ස්වාධීන කණ්ඩායම හදාගෙන ආවත්, ඔවුන්ගේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් මේ රටේ ජනතාව අවස්ථාවක් නොදෙන බව අපිට විශ්වාසයි.

2024 ඔබ අපට බාර දුන්න වගකීම, ඔබත් අපත් අතර ඇති වුණ සමාජ සම්මුතිය තව එක් පියවරක් ඉදිරියට ගෙනියන්න තමයි අපේ මේ සහෝදර සහෝදරියන් ඉදිරිපත් වෙලා තියෙන්නේ .

සමාජයේ අවශ්‍ය හැමතැනම ජනතාව පුරවැසියන් හැටියට මැදිහත් වෙන්න පටන් අරගෙන. අඩුපාඩු තියනවා, වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා, නමුත් මෙතන වැදගත්ම දේ බහුතරයකගේ අරමුණ මේ රට හදාගන්න ඕන, මේ රට දියුණු කරන්න ඕන කියන එකයි.

ඒ⁣ වෙනුවෙන් කැපවීම් කරද්දි පුද්ගලිකව අපට යම්කිසි අවාසියක්, අතහැරීමක් කරන්න වුනත් සිද්ධ වුණත් පොදු අපේක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න සූදානම්.

පාසැල් වලට ළමුන් ඇතුලත් කරද්දි රජයේ සේවය නිසා ස්ථාන මාරුවක් ලැබුණ, එහෙම නැත්නම් පිටරට ගිහිල්ලා ආවම වගේ විශේෂ අවස්ථාවක දරුවා පැසලකට ඇතුලත් කරන්න ඇමතිවරයාට හරි ලේකම්ට හරි බලය තිබුණා දරුවාව පාසලට ඇතුලත් කරන්න ලියුමක් නිකුත් කරන්න. ඒ අවස්ථාව පාවිච්චි කරලා ජනප්‍රිය කියන පාසල් වලට දරුවන් දැම්මා. 45 ඉන්න ඕන පන්තිවල පනහ, පනස් පහ, හැට දාලා තියෙනවා.

එහෙම අපිට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කරන්න පුළුවන්ද? පන්ති කාමරයක පනහක් තියාගෙන ගුරුවරයෙක් කොහොමද උගන්වන්නේ. ඒ නිසා අපි තීරණය කළා මොන තත්ත්වයක් තුළ හෝ පුරප්පාඩු නැත්නම්, පුරප්පාඩු වලට එහා යන්න අමාත්‍යාංශයේ නිර්දේශ දෙන්න ඇමතිවත්, ලේකම්වත් ලියුම් ගහන්නේ නෑ.

අක්‍රමිකතා නිවැරදි කරගෙන සියලුදෙනාට සාධාරණය ඉෂ්ඨ කරන්න රජයක් ලෙස කටයුතු කරනවා. ක්‍රමයක් නැති නිසා සමහරු එතනින් ගිහින් අක්‍රමිකතා සිදු කළා. ඔවුන්ට නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ නිසා ඒ තුළින් වාසි ලබා ගත්තා.

පැවති අක්‍රමිකතා නතර කරමින් මේ ව්‍යුහය ක්‍රමවේදයකට ගේන්න යම් කාලයක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රි කෞෂල්‍යා ආරියරත්න, අසිත නිරෝෂණ, කඩුවෙල නගර සභා අපේක්ෂක රංජන් ජයලාල් ඇතුළු අපේක්ෂකයින්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හරිත මූල්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා සාකච්ඡාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

හරිත මූළ්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහාඔරොත්තු දීම පිලිබඳ සාකච්ඡා සහ සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වියයුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි මැරියට් බොන්වෝයි හෝටලයේ පැවති දේශගුණික ක්‍රියාමාර්ග සඳහා තිරසාර මූල්‍යකරණය සහ කාබන් වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) පැවති සැසියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා නව මුලපිරීම් කරා යොමු වන හරිත මූල්‍යකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ සැසිය අග්‍රාමාත්‍ය කාර්යාලය, පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) එක්ව සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මෙම සැසිය මඟින් අදාළ අමාත්‍යාංශවලට මෙම මූල්‍යකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දෙනවා.

දේශගුණික විපර්යාසයන් තුළින් වර්ධනය වන අභියෝගය විසඳීම සඳහා ශ්‍රී ලංකාව බොහෝ පාරිසරික රාමු සංවර්ධනය කර යාවත්කාලීන කළත් එය වර්තමානයේ සංවර්ධන අභියෝගය බවට පත්ව තිබෙනවා.

එකී අභියෝග ජන ජීවිතය, ජීවනෝපාය සහ සමස්තයක් ලෙස ජාතියේ ගමන් මගට අඛණ්ඩව බලපාමින් තිබෙනවා. විශේෂයෙන් මේ දේශගුණික බලපෑම් වලට අපේ රටේ කෘෂිකර්ම, ධීවර, බලශක්ති, සංචාරක සහ ජල සම්පත් වැනි ප්‍රධාන අංශ නිතර මුහුණ දෙනවා. එය ජනතාවගේ ජීවනෝපායට මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක්.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර දේශගුණික මූල්‍යකරණ මෙවලම් අප විසින් උපයෝගී කරගත යුතුයි. දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලිකත්වය ගැනීමට ශ්‍රී ලංකාවට ශක්තිමත් ප්‍රතිපත්තිමය පදනමක්, වගේම දේශපාලන කැමැත්තක් සහ ආයතනික හැකියාවන් තිබෙනවා. අපට දැන් අවශ්‍ය වන්නේ මෙම අභිලාෂයට ගැළපෙනගෘහ ආර්ථිකය නිර්මාණ කරගැනීමයි. මෙම සැසිය සමස්ථ සමාජය පුරා දැනුවත්භාවයක් සහ තාක්ෂණික හැකියාවක් ගොඩනැගීම සඳහා වූ පියවරක් ලෙස මම දකිනවා.

මේ පිලිබඳ සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් අදහස් සහ සැලසුම් ක්‍රියාවට නැංවීමෙන් පමණයි අර්ථවත් ප්‍රතිඵල අපට අත්කර ගත හැකි වෙන්නේ.

රටට අවශ්‍ය ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන් සහ නිලධාරීන් එය ක්‍රියාත්මක ක්‍රිරීමට මූලිකත්වය ගත යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. පී. සපුතන්ත්‍රී, මහ බැංකු නියෝජිතයින්, අමාත්‍යාංශ නියෝජිතයින් සහ GGGI ආයතනයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික මට්ටමින් ටයිකෝට් ඇදගෙන කළ හොරකම්, ප්‍රාදේශීය සභා මට්ටමින් අමු අමුවෙි කළා. ආයේ එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික මට්ටමින් ටයිකෝට් ඇදගෙන කළ හොරකම් ප්‍රාදේශිය සභා මට්ටමින් එළිපිට සිදුකළ බවත් ඉදිරියට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

හොරණ සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දැන් ජනාධිපති ධූරයත් තියෙනවා, පාර්ලිමේන්තුවේ දැවැන්ත බලයක් තියෙනවා, තව මොනවද ඕන රට හදන්නේ කියලා ඔබට හිතෙනවා ඇති.

හැබැයි ඔබ සියලු දෙනාම පිළිගන්නවා ඇති ප්‍රාදේශීය සභාවකින් විය යුතු වැඩක් තියෙනවා. කළ යුතු සේවාවක් තියනවා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පවතින්නේ තමන් පත් කරගත්ත මහජන නියෝජිතයින් හරහා සිද්ධවෙන වැඩ තුළින්, ගමට සමීපතම නියෝජිතයා ප්‍රාදේශීය සභාවේ තමයි ඉන්නේ. ඔබේ එදිනෙදා ජීවිතය පහසු කරන බොහෝ කටයුතුවලට වගකියන්න ඕනේ ප්‍රාදේශීය සභාව.

ජාතික මට්ටමින් ටයිකෝට් ඇදගෙන හොරකම් කළා. පලාත්පාලන ආයතන ටයි කෝට් නොමැතිව අමු අමුවේ හොරකම් කළා.ඒකනේ මෙතෙක් සිද්ධ වුණේ. ප්‍රාදේශීය සභා කියන ඒවා මිනිස්සුන්ට සත පහකට වැඩක් වුනේ නැහැ. ඒක තමා ඇත්ත කතාව. යළි එහෙම වෙන්න අපි ඉඩතියන්නේ නැහැ.

දරුවෙක් පිළිසිඳ ගත්ත මොහොතේ සිටම ප්‍රාදේශීය සභාවට වැඩ තියෙනවා, මාතෘ සායන පවත්වන්න ඕන, දරුවා එන්නත් කරන්න ඕන, ඉපදුණායින් පස්සේ දරුවන්ගේ සෞඛ්‍යයට වග කියන්න ඕන, මව්වරුන්ගේ සෞඛ්‍යයට වග කියන්න ඕන, දරුවන්ගේ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයට වග කියන්න ඕන. පෙර පාසැල් දිවාසුරුකුම් පවත්වාගෙන යන්න ඕන, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, දරුවන්ට අවශ්‍ය ගමේ සේවාවන් පුස්තකාල, රංගශාලා, තරුණ සංගම්, තරුණ සමිති, තරුණ තරුණියන්ට සෞඛ්‍ය වර්ධනය, අමතර පන්ති පැවැත්වීම කරන්න ඕන.

වැඩිහිටියන්, කාන්තාවන්, ව්‍යවසායකයින් වෙනුවෙන් කරන්න වැඩකොටසක් තියනවා. අන්තිමට සොහොනට යනකොට ඒකත් ගෞරවාන්විත විදිහට යන්න පුලුවන් විදිහට හදන ඒකත් ප්‍රාදේශීය සභාවේ වගකීම.

මේ සියල්ලට මැදිහත් වෙන්න ප්‍රාදේශීය සභාවට විශාල බලයක් ඇති බවත්, එළඹෙණ මැයි හය වන දින හොරුන්ගෙන් ප්‍රාදේශිය සභාව බේරා ගැනීමට ඉදිරියට එන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා, නන්දන පද්ම කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය නගාසිටුවන්න සංඝරත්නයේ සහය ලබා දෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ 125 වන සංවත්සරය අමතමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලයි.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය කාලොච්තව සංවර්ධනය විය යුතු බවත් ඒ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළුතර බෝම්බවල ශ්‍රි සුබෝධි රාජාරාම මූලස්ථාන මහාවිහාරයේ අද (29) පැවති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ 125 වන සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් සිදු කළ සංඝයාවහන්සේලා හැටතුන් නමක් විෂයෙහි උපහාර පිදීම සහ ගිහි පිංවතුන් කිහිප දෙනෙකු වෙනුවෙන් වු පදවි පිරිනැමීම අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් සිදු කෙරිණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ ඉතිහාසය තුළ බෞද්ධාගම සහ සමාජය අතර මනා බැදීමක් තිබුණා. අපේ ශිෂ්ඨාචාරය, සමාජ සබඳතා ගොඩනැගුණේ බුදු දහමත් සමගයි. අපි රජයක් ලෙස නිර්මාණය කිරීමට යන සමාජය, බුදු දහමේ පදනම වන සාධාරණත්වය, සමානාත්මතාවය, මෛත්‍රිය වැනි ගුණාංග පිරිණු සමාජයක්. බුදු දහමේ දැක්වෙන මේ ගුණාංග ජීවමානයි.

පිරිවෙන් අධ්‍යාපනය, භික්ෂු අධ්‍යාපනය අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ඒ සඳහා විශාල මැදිහත් වීමක් අවශ්‍යයි.

ලෝකය බලාපොරොත්තුවෙන දේ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය සූදානම්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. විද්‍යාව දියුණු වන ලොක්යේ ආගම කියන අවශ්‍යතාව නැතිව යනවා කියලා යුරෝපයේ මතයක් තිබුණා. අද වන විට ඒ මතය බොරුවක් වී තිබෙනවා. භෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි.

ලෝකයේ ඇතිවන අභියෝගවලට මුහුණ දියහැකි පරිදි භික්ෂුන්වහන්සේලාගේ දැනුම ආකල්ප කුසලතා දියුණු විය යුතුයි. ඒ වෙනුවෙන් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍යයි.

ගණිතය, විද්‍යාව, නුතන භාෂා පිළිබඳ ස්වාමීන්වහන්සේලාට ඉගෙන ගන්න අවස්ථා සීමිත බවත්, නවීන විෂයන් අධ්‍යයනයෙන් තොරව නූතන අභියෝග ජයගතහැකි දැයි ප්‍රශ්නයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ මහා නායක පූජ්‍යපාද එගොඩමුල්ලේ අමරමෝලි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ කියන්නේ තරු පහේ හෝටල්ම නෙවෙයි. අපේ මිනිස්සුන්ට ආවේනික වූ ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් සුන්දර නගරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආගමික හා සංස්කෘතික විවිධත්වයත් සමග කොළඹ හරි ලස්සනයි. අපි සියලු දෙනා එකතුවෙලා අපේ නගරය ලස්සනම නගරය බවට පත් කරමු. සැවොම කිසිම භේදයක් නැතුව ජාතික ජන බලවේගය වටා එකතු වෙලා ඉන්නේ ඒ අරමුණින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ, කොටහේන, මරදාන හා කොම්පඤ්ඤවිදියේ අප්‍රේල් 28 දින පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ක්. කොළඹට පොහොසත් නගර සභාවක් තියෙනවා. මොනවාද අඩු මේ නගර සභාවට. මේ ප්‍රදේශ කොච්චර දියුණු කරන්න පුලුවන්ද. ජනතාව ගැන හැඟීමක් නැහැ. ජනතාවගේ ජීවිත දියුණු කරන්න උවමනාවක් නෑ. අපි මෙහෙම කිව්වාට කරන්න දෙයක් නැහැ. කොළඹ නගර සභාව කිව්වම අපිට සාමාන්‍යයෙන් ඔලුවට එන්නේ හොර ගුහාවක් කියන එක. මුදල් නාස්ති කරන, අපිව අතෙන්ට මෙතනට යවන, කිසිම වැඩක් කරගන්න බැරි තැනක් හැටියට තමයි නගර සභාව ගැන අපිට හැදිලා තිබෙන ප්‍රතිරූපය. මේක වෙනස් කරන්න ඕනේ. මේ රටේ ජනතාව 2024 දී මේ රට වෙනස් කරන ගමන ආරම්භ කළා. මේ රටේ ඉතිහාසය වෙනස් කරන තීන්දු දෙකක් දුන්නා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී. ඒක හරහා සියලු දෙනාම නියෝජනය වන ආණ්ඩුවක් දැන් අපිට තියෙනවා. ඔබ සියලු දෙනාගේම හඬ, ඔබ සියලු දෙනාගේම අවශ්‍යතා නියෝජනය කරන ආණ්ඩුවක් අපිට තියනවා. 

අවුරුදු දෙකකට කලින් ඔබට මතක ඇති මේ මැතිවරණය තියන්න තිබුණේ 2023 වසරෙ. අපි කිව්වා බිමින් පටන් ගමු කියලා. හැබැයි ජාතික ජන බලවේගය දිනන්න යනකොට රනිල් වික්‍රමසිංහ මොකක්ද කරේ? ඡන්දය නැති කලා. ජාතික ජනබල වේගය නඩු කියලා තමයි මේ මැතිවරණය ලබා ගත්තේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගන්න අපිට පුළුවන් වුණේ නඩු කියලා. ඒ නිසා තමයි අවුරුදු දෙකක් පරක්කු වුනත් මේ පළාත් පාලන මැතිවරණය අපිට තියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔබ  2024 ආරම්භ කල ඒ ඓතිහාසික ගමන අපි නගර සභාව දක්වා ගේමු.

ඔබ දන්නවා අපේ ප්‍රතිවාදින් අපිට එක එක දේවල් කියනවානේ, හැබැයි ඒගොල්ලන්ට කියන්න බෑ අපි හොරකම් කරනවා කියලා. මිනිස්සුන්ගේ මුදල් අපි ආරක්ෂා කරනවා. ආණ්ඩුවක් කොහොමද තිබිය යුත්තේ ද කියන එක අපි අනුර සහෝදරයා දිනපු දවසේ ඉඳන් පෙන්නුම් කරලා තියෙනවා.

මේ මුහුණු දිහා බැලුවාම මොකක්ද අපිට කියන්න පුළුවන්.  මැයි 6 වෙනිදා ජාතික ජන බලවේගය කොළඹ නගරය ජයග්‍රහණය කරනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. අපේ ව්‍රායි සහෝදරී නගරාධිපතිනිය වෙන්න නියමිතයි. ඒක ආයිත් කියන්න දෙයක් නැහැ. මේ නගරයේ ඔබ සියලු දෙනාම හොඳින් දන්නා ඔබ ළඟට එන, ඔබට ළඟට එන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නගනගරාධිපති කෙනෙක් දැන් ඔබට ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් එක්ක ඇය නගරාධිපති වෙන්න යන්නේ. මේ නගරය ඇත්තටම අපිට ආඩම්බරයක් වෙන්න පුළුවන් විදියට සංවර්ධනය කරන්න, ලස්සන කරන්න විශාල වුවමනාවක් ඇයට තිබෙනවා. 

මම දන්නවා ඔබ සියලු දෙනාටම සිහින තියෙනවා. මේ දරුවන්ට මේ ඉන්න ළමයින්ට අනාගතයක් ගැන සිහින තියෙනවා. අපිට අපේ අධ්‍යාපන ක්‍රමය හරියට හදාගන්න ඕනේ. නගර සභාවට පෙර පාසල භාර දුන්නා වගේම අපි ජාතික මට්ටමේ රටේ අධ්‍යාපනය හදන්න ලොකු වෙහෙසක් ගන්නවා. විශාල වුවමනාවක් තියෙනවා. 

සියලුම දරුවන්ට ඉස්කෝලෙ යන්න ආස හිතන විදියේ පාසලක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ට බරක් නොවන දෙමව්පියන්ට බරක් නොවන, ඒ වගේම දරුවන්ට ආස හිතෙන විදියට අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඒක නිකන් අර පොතට සීමා නොවී විභාගයක් ගැන විතරක් වද වෙන්නේ නැතුව මේ අධ්‍යාපනය හරහා ලෝකය විශාල වෙන්නේ කොහොමද ලෝකයේ විවෘත වෙන්නේ කොහොමද කියන දේ අපි අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ.

කොළඹ නගරය කියන්නේ හරිම සුවිශේෂි තැනක්. මේ පළාතට තියෙන්නේ ඊටත් වඩා සුවිශේෂත්වයක්. මම මෙතනට එනකොට ලස්සන කෝවිලක් පහු කරගෙන ආවා.  ඉස්සරහා බුදු පිළිමයක්. මෙතන මරියා තුමියගේ පිළිමයක්. පල්ලියට වැඩි දුරක් නැහැ. මේ විවිධත්වය අපිට වටිනාකමක් ගෙන දෙනවා. කුඩා අවකාශයක පිහිටියත් එකිනෙකා ගැන තියෙන අවබෝධය හා හැගීම වැඩි කරන තැනක්. අවට කඩේකට ගියත් රසවත් කෑම ජාති හොයා ගන්න පුලුවන්. ඒ රස වෙන තැන්වල නැහැ.

අපි සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. අපේ සංචාරක ව්‍යාපාරයේදී  විදේශ රටවල මිනිස්සුන් මේවා දකින්න ඕනේ. මේ අත්දැකීම් ලබන්න  පුළුවන් වෙන්න ඕනේ. ඒවා ලස්සනට තියෙන්න ඕනේ ආකර්ෂණීය විදියට තියෙන්න ඕනේ. මෙතනට ඇවිල්ලා ඉන්න හිතෙන විදියට ගොඩනගන්න ඕනේ. මේවා ගැන ප්‍රසිද්ධ වෙන විදියට අපි නගරය හදාගන්න ඕනේ. කොළඹ කියන්නේ තරු පහේ හෝටල් විතරක් නෙවෙයි කියන එකත්, ඒ වගේම ඉතාමත්ම පොහොසත්, ලස්සන ජීවිත තියෙන සංස්කෘතියක් තියෙන විවිධත්වයෙන් පිරිච්ච නගරයක් කියන එකත් අපි මුළු ලෝකෙටම පෙන්නන්න ඕනේ.

නව අධ්‍යාපන ක්‍රමයත් සමග අපි පොරොන්දු වූ සියල්ලම කරන්න තමයි ඔබ අපට විශාල බලයක් ලබා දුන්නේ. මතක තියාගන්න අපි ඔබත් සමඟ සාකච්ඡා කරපු සියලු දේවල්, ඔබත් එක්ක අපි ඇති කරගත්ත ඒ සමාජ සම්මුතියන්, එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න තමයි අපි බලය ලබා ගත්තේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලිය කරගන්න හොඳ නගර සභාවක් ගොඩ නගලා දෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලනවා

මේ අවුරුද්දේ මාර්තු මාසයේ සම්මත කරගත්ත අපේ පළවෙනි අයවැය තුළින් පෙර පාසල් වලට මුදල් වෙන් කරලා තියෙනවා. පාරවල් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. ජල කළමනාකරණයට, කුණු කසල  සුද්ද කරන්න, කානු පද්ධතියන් හදන්න මුදල් වෙන් කර තිබෙනවා. මෙලෙස ඔබට දැනෙන, කාලයක් තිස්සේ ඔබේ එදිනෙදා ජීවිතයට වදයක් වෙච්ච එවැනි දේවල් නිවැරදි කරන්න, ඒවාට සහනයක් ලබාදෙන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන මුදල් බොහෝ කැපකිරීම් කරලා ජනතාව වෙනුවෙන් එකතු කරපු මුදල්. ඒවා අපිට හොරුන්ගේ අතට  යවන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒ නිසා තමයි අපිට නගර සභාව සුද්ද කරලා ඕනේ. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා.අපි ඇවිත් මාස හයයි තාම, තව කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ ආර්ථිකය දැන් අපි ස්ථාවර කරලා කියනවා. ඊලගට අපි ආර්ථික වර්ධනයක් ලබාගන්න ඕනේ. ව්‍යාපාර වලට අවශ්‍ය පහසුකම් ලබා ගන්න, ස්වයං රැකියාවලට විශේෂයෙන්ම කාන්තාවන්ට තරුණ තරුණියන්ට ස්වයං රැකියා සදහා, ප්‍රජා පහසුකම් ඇති කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.  ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා.  ඒ සඳහා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ වගේ දක්ෂ කණ්ඩායමක් නගර සභාව සදහා තෝරලා පත් කරලා එවන්න කියලා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, හේමන්ත විජේකෝන් මහතා,කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් සහ අපේක්ෂකයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය