අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකයින්ට පිළිගැනීමේ උත්සවයක්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් H.E. Santosh Jha මහතා විසින් 2025 ජුනි 16 වන දින ඉන්දීයානු නිල නිවසේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, කාන්තා සහභාගීත්වය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව පිළිබඳ සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සභාපති, සවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකාවන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කරන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, Clean Sri Lanka වැඩසටහන රටේ සියලුදෙනාගේ lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමඟ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී නිලධාරීන් තම අත්දැකීම් නිදසුන් ද සහිතව අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘අපි මේ කරන්න හදන්නේ අදින් වසර පනහකට පමණ පෙර කළ යුතුව තිබු දේවල්. ඒ නිසා මෙය තවත් එක් ව්‍යාපෘතියක් ලෙස කඩිමුඩියේ කරන්න අවශ්‍ය නෑ. අපට තව කල් තිබෙනවා.

Clean Sri Lanka කියන්නෙ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි. Clean Sri Lanka කියන්නේ අප හිතන පතන විදිහ, ආකල්ප, චර්යාවන් එක්කම අපි ජීවත්වෙන පරිසරයත් Clean ව පවත්වාගෙන යාමයි.

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි. ඒකට අපේ අනාගත පරපුර, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව හුරු කර ගැනීමට අවශ්‍ය නිසයි අපි Clean Sri Lanka වැඩසටහන පාසලට හදුන්වා දනේනෙ.

මේ වන විටත් පාසල් දරුවන්, දෙමව්පියන් සහ ත්‍රිවිධ හමුදාව වගේම Clean Sri Lanka වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම සහාය දෙන තවත් පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කරගෙන විශාල වැඩසටහන් ප්‍රමාණයක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා.

පාසල් මුල් කරගෙන ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් අනිත් අයත් දැනුවත් වන අන්දමින් ජනතාව අතරට ගෙන යාමට ජනමාධ්‍ය‍යේ සහාය අවශ්‍යයි.

අනිත් වැදගත්ම කාරණය වන්නේ, අවශ්‍ය හැම වෙලාවෙම අපි පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහනට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා ගැන අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස් සහ මගපෙන්වීම ලබා ගැනීමයි.

විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ පාසල්වල ඇති කරමින් යන වැසිකිළි කැසිකිළි පහසුකම්වල දී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම මෙම වැඩසටහන යටතේ ඉදිකෙරෙන වැසිකිළි කැසිකිළි ඇතුළු හැමදේකම එකම ආකෘතියක් පවත්වාගත යුතුයි. එක එක තැන්වල එක එක විදිහේ වෙන්න බෑ.

Clean Sri Lanka පාසල්වල ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් විට ඊට අවශ්‍ය මුදල සපයා ගැනීමේ අපහසුතා මතුවෙනවා. ඒ සඳහා කඩිනමින්ම විසඳුම් ලබා දීමට අපිට පුලුවන්කම තිබෙනවා.

Clean Sri Lanka පාසල්වලින් ඔබ්බට කාර්මික විද්‍යාල, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල තුළටත් ගෙන යා යුතුයි. මෙය තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් තාවකාලික වැඩසටහනක් නොවෙයි. සමස්ත රටම ඉලක්ක කරගත් දැවැන්ත ජාතික වැඩසටහනක ආරම්භක අවධිය.

අපි මේ ලබන අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් වැරදි අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යමු" යැයි අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය IMF නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අතර සාකච්ඡාවක් ජූනි 16 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය කරා ගමන් කරන බැවින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී ආචාර්ය ගෝපිනාත් මහත්මියගේ අවධානය යොමු විය.

නව රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද විනිවිදභාවය සහ ක්‍රියාශීලී ප්‍රවේශය අගය කළ අතර, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාමුව, ශ්‍රී ලංකාව හා සමාන මූල්‍ය මෙන්ම ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දෙන අනෙකුත් ජාතීන්ට මග පෙන්විය හැකි ව්‍යුහගත ආකෘතියක් ලෙස වර්ධනය වන බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.

වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, බලශක්ති වැනි උපායමාර්ගික ක්ෂේත්‍රවල තිරසාර හා මහා පරිමාණ සංවර්ධනයන්ගේ දීර්ඝකාලීන පැවැත්ම සඳහා තීරණාත්මක වන බැවින් ඒ පිළිබඳ දෙපාර්ශවය පුළුල් ලෙස සාකච්ඡා කළේය.

පාලනය වැඩි දියුණු කිරීම, ආයතන ශක්තිමත් කිරීම සහ රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සියලුම මට්ටම්වල විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම පරිපාලනයේ ප්‍රමුඛතා ලෙස පවතින බවත්, සියලුම ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ පියවරයන් සමස්ථ රටම ආවරණය වන පරිදි සිදුකිරීමත්, ජනතාවගේ සුබසාධනය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරීමටත් රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රම බලකාය වඩා හොඳින් සන්නද්ධ කිරීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු විය.

සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සහතික කළ අතර, රටට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ දිගුකාලීන ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීමට සූදානම් බවද ආචාර්ය ගෝපිනාත් මහත්මිය අවධාරණය කළාය.

ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වන ආචාර්ය මාටින් කෝෆ්මන් (උපදේශක), ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ආචාර්ය පීටර් බ්‍රූවර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් ධර්ෂණ එම්. පෙරේරා, ඇතුළු ශ්‍රි ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නංවමින්, ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

’සේද මාවතේ ඒකාබද්ධතාවය සහ ජයග්‍රාහී සහයෝගීතාවය’ යන තේමාවෙන් ජුනි 16 වැනි දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති ’චීන-ශ්‍රී ලංකා-මාලදිවයින සංචාරක සංසදයේ’ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

මෙම සමුළුවේ මූලික දැක්ම වෙන්නේ, සංචාරක කර්මාන්තය ආර්ථික වර්ධනය පමණක් නොව, ජනතාව අතර සබඳතා, සංස්කෘතික අවබෝධය සහ කලාපීය සහයෝගීතාවය සහිත දකුණු ආසියානු කලාපයක් ගොඩනැගීමයි.

චීනය ඔවුන්ගේ විශාල හා විවිධත්වයෙන් යුතු භූ දර්ශන, සියවස් ගණනාවක් පැරණි පෞරාණික ස්ථාන සහ එකිකෙට වෙනස් නවීන නගර සමඟ මිලියන සංඛ්‍යාත සංචාරකයින් ආකර්ෂණය කරගන්නවා.

මාලදිවයින, පිරිසිදු කොරල්පර, සුපැහැදිලි ජලය සහ ලෝක ප්‍රකට නිවාඩු නිකේතන සමඟින් නිවර්තන දූපත් නියෝජනය කරනවා.

ශ්‍රී ලංකාව, අනුරාධපුර පූජනීය නගරයේ සිට සීගිරිය බලකොටුව දක්වාත්, දකුණේ රන්වන් වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකරයේ මීදුමෙන් වැසුණු තේ වතු දක්වාත් අද්විතීය අත්දැකීම් සමූහයක් ලබා දෙනවා.

අපේ රටේ, ආදායම් උත්පාදනය කරන පමණක් නොව, අපගේ පරිසර පද්ධති ආරක්ෂා කරන, අපගේ සංස්කෘතීන් අගයන සහ අපගේ ජනතාව සවිබල ගන්වන සංචාරක කර්මාන්තයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට රජය අවධානය යොමු කර තිබෙනවා.

එහි දී කලාපීය සහයෝගීතාවය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. වීසා ක්‍රියාවලිය පහසු කිරීමට, සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රමිතීන් පෙළගැස්වීමට, ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර සංවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පොදු වේදිකා මේ ඔස්සේ නිර්මාණය කළ හැකියි.

සංචාරක කර්මාන්තය ග්‍රාමීය ප්‍රජාවන් වෙත ළඟා වන, කාන්තා ව්‍යවසායකයින්ට සහාය වන සහ තරුණ සහභාගීත්වය දිරිමත් කරන සංචාරක කර්මාන්තයක් බවට පත් කිරීමයි අපේ අරමුණ.

ඒ වගේම පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට, ඩිජිටල් සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නැංවීමට දැනටමත් රජය කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම රටේ අඩු නියෝජනයක් ඇති ප්‍රදේශවලට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලැබීම සහතික කරන, ප්‍රජා පාදක සංචාරක කර්මාන්තයක් ඇති කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

චීනයේ නවෝත්පාදනයන් සමඟ එක්ව කටයුතු කළහොත් අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය ඉහළ මට්ටමින් ප්‍රවර්ධනය කරන්න පුලුවන්.

සංචාරක ව්‍යාපාරයේ සැබෑ වටිනාකම ආර්ථික ප්‍රතිලාභවලින් පමණක් නෙමෙයි, මානව සබඳතා පෝෂණය කිරීමේ හැකියාවන් මතද පවතින බව මතක තබා ගත යුතුයි. ඒකාකාර ආකෘති බිඳ දැමීමට, සංවේදනය පෝෂණය කිරීමට සහ සාමය ගොඩනැගීමට මේ මඟින් අපිට හැකි වෙනවා. බෙදී ගිය ලෝකයක, සංචාරක ව්‍යාපාරය, දේශ සීමා හරහා, සංස්කෘතීන් හරහා සහ පරම්පරා හරහා එක්සත් කිරීමට අවසථා නිර්මාණය කරනවා. යැයි ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ මාලදිවයිනේ තානාපති කාර්යාලයේ ප්‍රධානීන් ද චීන සංචාරක අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ද ඇතුළු ආරාධිත අමුත්තන් ද මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූහ

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

ජුනි මස 14 වැනි දිනට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ, ජාතික සැමරුම් උත්සවය ජුනි 14 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි

ඊට සමගාමීව රුධිර පරිත්‍යාගශීලීන් ඇගැයීමද මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වූයේ "Give Blood, Give Hope, Together we save lives" යන්නයි, මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාවයෙන් 85% ක් පමණ සැපයෙන ජංගම රුධිර දාන කඳවුරු සංවිධායකයින්ග අසමසම දායකත්වයෙන් සිදු වෙනවා. මේ අවස්ථාවේ ඒකට මම ඔවුන්ට ස්තූති කරන්න කැමතියි.

ජාතික රුධිර පාරවිලයන සේවයට වාර්ෂිකව ලැබෙන රුධිර ඒකක 450,000 න්, 380,000 කට අධික ප්‍රමාණයක්, එනම් 85%ක් පමණ රැස් කරගනු ලබන්නේ මෙම ජංගම කඳවුරුවලින්, මේ සඳහා වසරකට 5,000 කට ආසන්න ජංගම රුධිර දාන කඳවුරු සංඛ්‍යාවක් සංවිධානය වෙනවා.

මෙම උපහාර උළෙල සඳහා රුධිර පරිත්‍යාගශීලීන් 1,500 ක් සහ රුධිර දාන කඳවුරු සංවිධායකයින් 1,000 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා. කිසිදු ජාති, ආගම්, පළාත් හෝ ප්‍රදේශ භේදයකින් තොරව දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින්, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පාසල්, ආරක්ෂක අංශ සහ තනි පුද්ගලයන්ද ඇතුළු පුළුල් පරාසයක දායකයන් මෙහි දී සම්මාන ලබනවා.

මෙම සංවිධායකයින් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර, ස්වකීය ධනය, ශ්‍රමය සහ කාලය ස්වේච්ඡාවෙන් මේ සඳහා කැප කරන පිරිසක්.

ලංකාවේ පවතින මෙම අද්විතීය රුධිර දාන සංවිධාන ක්‍රමවේදය ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතන සඳහා වසරේ එක් දිනක් රුධිර දානයට වෙන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් සැලසුමක් සහිතව ඉදිරියේදී නැවත ක්‍රියාවට නැංවීමට රජය බලාපොරොත්තු වෙනවා.

පාසල් පද්ධතිය තුළද රුධිර දානය පිළිබඳ දැනුම්වත් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දිය යුතුයි. අනාගත රුධිර පරිත්‍යාගශීලීන් බිහි වන්නේ පාසල් පද්ධතියෙන් බැවින් මෙය ඉතා වැදගත්.

කොවිඩ් වසංගත තත්ත්වය වැනි අපහසුතා මධ්‍යයේ වුව ද, ඔවුන් තම වගකීම අමතක නොකර තම ජාතික වගකීම ඉටු කළා,

අද වන විට ශ්‍රී ලංකාව 100% ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාග මගින් රුධිර අවශ්‍යතා සපුරා ගන්නා රටක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ විශිෂ්ට මෙහෙවර තුළින් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසුවා ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අංශ දෙකක් වන රෝග නිවාරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ජාතික රුධිර පාරවිලයන සේවාව ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා. 2010 වසරේදී ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් 2020 වන විට සෑම රටක්ම තම රුධිර අවශ්‍යතා 100%ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාගවලින් සපුරා ගත යුතු බවට ගත් තීරණය, ශ්‍රී ලංකාව 2014 වන විටත් සපුරා ගෙන අවසන්, මේ වන විටත් ලොව පුරා රටවල් 70ක් පමණක් මෙම තත්ත්වය ළඟා කරගෙන තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් වන්නේ මෙරට රුධිර පරිත්‍යාගශීලීන් සහ රුධිර කඳවුරු සංවිධායකවරුන් ඔවුන් "සුපිරිසිදු හදවත් ඇති සුවිශේෂී කණ්ඩායමක්"

රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නවීකරණය කරන්න රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඉදිරියේදී රුධිර ජනක සෛල (stem cells) සහ රුධිර ප්ලාස්මා (blood plasma) පරිත්‍යාග කිරීමට අවකාශ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා වගේම , NAT testing (Nucleic Acid Amplification Test) වැනි නවීන රසායනාගාර පරීක්ෂණ හඳුන්වාදීමටත්, සියලුම රුධිර බැංකුවල තත්ත්ව පාලන ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමටත්, ජාත්‍යන්තරව පිළිගත් AABB standard සහ GMP (Good Manufacturing Practices) වැනි ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමෙන් රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නගා සිටුවීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රුධිර පරිත්‍යාගශීලීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන්.

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජුනි 13 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. එහිදී, ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානය ප්‍රදානය කෙරිණි.

මෙහි දී සම්මානයට පාත්‍ර වූ පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

සම්මාන ප්‍රදානයෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,

ලොව ජනප්‍රියම කලා මාධ්‍යයක් වන සිනමාවේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ප්‍රවීණ කලාකරුවන් ඇගයීම, ඔවුන් රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු අවස්ථාවන්හි පෙනී සිටීම සමස්ත ජාතියේම පරම යුතුකමක් සේ මම දකිමි.

ගෙවෙමින් පවතින 2025 වසර, දේශීය සිනමාවට වසර සියයක් සම්පූර්ණ වන බැවින් සිනමා අවකාශය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ගොඩනැඟීමට උරදුන්, දිරිදුන්, වෙරදුන් මිනිසුන් ජාතියේ උත්තමාචාරයෙන් පිදීම කෘතඥපූර්වක කටයුත්තක් බව මාගේ හැඟීමයි.

සුමිත් බිබිලේ මහතාගේ සංකල්පයක් අනුව බිහි වූ මෙම පදනම, එතුමාගේ දියණිය වන සනෝජා බිබිලේ මහත්මිය විසින් පවත්වාගෙන යාම අගය කළ යුතුයි.

කතානාද සිනමාවේ පටන් 70 දශකයේ ආරම්භය දක්වා ම සිනමාවට උදාර මෙහෙවරක් කළ කලාකරුවන් රැසක් මේ වන විටත් Silver Screen සම්මානයෙන් පිදුම් ලබා ඇති බව දැනගැනීමත් සතුටට කරුණක්.

පසුගිය දා දැයෙන් සමුගත් නිළි රැජිනිය මාලනී ෆොන්සේකා මහත්මියවත් අප මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. ඇය සම්මාන රාශියකින් පිදුම් ලැබුවා. ඒත් ඒ සම්මාන සියල්ලටම වඩා වටිනා ජනතා ආදරය ඇයට නොඅඩුවම ලැබුණා.

සිංහල සිනමාව නියෝජනය කරමින් මෙවර සම්මානයට පාත්‍රවන සිනමා ශීල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික තාක්ෂණ ශිල්පීන් මෙන්ම පුවත්පත් කලාවේදීන් සහ විචාරකයන් ද ඇතුළු කලාකරුවන් සැමට මගේ හෘදයාංගම සුබාශිංසන පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඒ වගේම, සනෝජා බිබිලේ මහත්මිය, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සහ Silver Screen සංවිධානයේ සියලු ක්‍රියාකාරීන්ටත්, මෙම උළෙල සාර්ථක කරගැනීමට මෙවැනි අරුත්බර දේ ජනගත කරන්නට සහය වන සියලු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන්ටත්, ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සමස්ත රජය වෙනුවෙන් ම ස්තුතිපූර්වක ගෞරවය පුදන අතරම, තව දුරටත් මෙම කෘතවේදී සත්කාරය අඛණ්ඩව කරගෙන යෑමට මේ සියලු පාර්ශවයන්ට සුබාශිංසනය එක්කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළා ය.

මෙම උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය සමඟ සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය