අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

දිවයින පුරා පාසල් නේවාසිකාගාර සංවර්ධනයට රුපියල් මිලියන 1,008ක් වෙන් කෙරේ

දිවයිනේ පාසල් පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ජීවන තත්ත්වය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය මගහරවා ගනිමින්, සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපන හා සෞඛ්‍ය පරිසරයක් උදා කර දීමේ අරමුණින් එම නේවාසිකාගාරවල අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව, රුපියල් මිලියන 1,008ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2028 කාලසීමාව තුළ මෙම පාසල් නේවාසිකාගාර නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට ආහාර සුක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමණාකරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආබාධිත තැනැත්තන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වෘත්තිය පුහුණු වැඩසටහන්, වැඩිහිටි ප්‍රජා මූලික ක්‍රියාකාරකම් වැනි සේවාවන් දියුණු කිරීමට අවශ්‍යයි.

ඉදිරියේදී සිදු වන බවට කාලගුණ අනාවැකි පළ කර ඇති එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට ආහාර සුක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමණාකරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී අද (16) පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග වැඩසටහන්, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති, ප්‍රජාශක්ති වැඩසටහන, රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු 2026 සඳහා වන සංවර්ධන වැඩසටහන්වල 2026.06.15 දිනට ප්‍රගතිය ඉදිරිපත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොළඹ දිස්ත්‍රිකය සඳහා ක්‍රීඩා අනු කමිටුවක් පත් කර ගැනීම අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදු වූ අතර මෙම අනු කමිටුව හරහා ඉදිරි කටයුතු සැලසුම් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේය.

ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා කටයුතු සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය.

ඉදිරියේදී ඇතිවන එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ මෙරටට ඍජුව ඇතිවන බලපෑම් මෙන්ම එමගින් ගෝලීය වශයෙන් ඇතිකරන බලපෑම් සඳහාද සූදානම් වීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආහාර සුක්ෂිතතාවය මෙන්ම ජල කළමනාකරණය සහ බලශක්ති කළමණාකරනය සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ප්‍රකාශ කළා ය.

ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වෘත්තිය පුහුණු වැඩසටහන්, වැඩිහිටි ප්‍රජා මූලික ක්‍රියාකාරකම් වැනි සේවාවන් දියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැවසුවාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, කොළඹ දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියේජිතයින්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහහාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගනිමු

ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය බවත්, පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඩෙංගු මර්ධන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්‍ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අමතමින් අද (16) කොට්ටාව ප්‍රදේශය දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.

මේ වන විට ඩෙංගු අවදානම අප රටේ වැඩි වෙමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය අධි අවධානමක පවතිනවා. මහරගම නගරය ඒ අතරින් විශේෂ බව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා.

විශේෂයෙන් පාසල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල ඇතුළු පොදු ස්ථානවල මෙම අවදානම පවතින බව හදුනාගෙන තිබෙනවා. රජයක් වශයෙන් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ විශේෂ මැදිහත් වීමක් සිදුකර ජනතාවට පවතින ඩෙංගු අවධානම අවම කිරීමයි මෙහි අරමුණ.

මේ සතිය පමණක් නෙමෙයි මේ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී සියලු දෙනා එක්රැස්ව අධිෂ්ඨානශීලීව කටයුතු කළයුතු වෙනවා.

පසුගිය වසර එකහමාරක කාලය තුල මතුවූ අභියෝග සාර්ථකව ජයගත් ලෙසම මෙහිදී ද සාමූහික ප්‍රයත්නයක් දරමින් මෙම අභියෝගය ජය ගත යුතුයි. ඩෙංගු මර්දන ක්‍රියාවලිය ස්වකීය වගකීමක් ලෙස සලකා ප්‍රථමයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානමෙන් අඩු අවදානමක් සහිත ප්‍රදේශයක් බවට පත්කර ක්‍රමිකව තුරන් කිරීමට ක්‍රියා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළ හා ඒ අවට ස්ථාන නිරීක්ෂණය කිරීමට ද කටයුතු ක⁣ළාය.

මෙහිදී අදහස් දැක් වු මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා

මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දක්වන මහරගම නගර සභාව, කොට්ටාව පොලිසිය සහ ආරක්ෂක හමුදා කණ්ඩායම්, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය සහ කොට්ටාව වෙළෙඳ සංගමය ඇතුළු ආයතන වෙත සිය ස්තුතිය පුද කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම ප්‍රදේශයේ සභාවේ සභාපති සමන් සමරකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසක් ජුනි 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සාකච්ඡා පැවැත්වූහ.

මෙම හමුවේදී, වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම, තිරසාර සංවර්ධනය, කාන්තා සුභසාධනය සහ පාලනය ඇතුළු ප්‍රධාන අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ පාලනය තුළ කාන්තා සහභාගීත්වය සඳහා අවස්ථා වැඩි කිරීමට රජය ගන්නා උත්සාහයන් සහ කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. අර්ථවත් නියෝජනයක් සහතික කිරීම සඳහා පවතින අභියෝග සහ එවැනි අභියෝග මඟහරවා ගැනීමට අවශ්‍යවන ප්‍රතිපත්ති, කුසලතා ගොඩනැගීම සහ ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය කෙරෙහි ද මෙම හමුවේදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී Galija Agiseva මහත්මිය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යන බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, Andalib Elias මහතා, 2026 ජුනි 15 වැනි දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

සිය ධූර කාලය තුළ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් Andalib Elias මහතා සිදු කළ සේවය සහ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

දෙරටේ තරුණ තරුණියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සඳහා දෙපාර්ශවයේ කැපවීම මෙම අවස්ථාවේදි යළි තහවුරු කරන ලදී.

මේ සඳහා කොළඹ පිහිටි බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (Counsellor) Md. Jannatul Habib, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යන බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති Didier Vanderhasselt මහතා 2026 ජූනි 15 වැනි දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවේ දී, සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා Didier Vanderhasselt මහතා සිදු කළ කාර්යභාරය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව ද අවධානය යොමු කළාය.

අග්‍රාමාත්‍යවරිය හමුවීමට ලැබුණු අවස්ථාව පිළිබඳ සිය කෘතඥතාව පළ කළ Didier Vanderhasselt මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර පැවති ධනාත්මක සහයෝගීතාව පිළිබඳව නැවත සිහිපත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කරන ලදී

මෙම අවස්ථාවට නවදිල්ලි නුවර පිහිටි බෙල්ජියම් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Jonas Heirbrant , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය